කොවිඩ් 19 රෝගය වැළඳුනු සංඛ්‍යාව 248 දක්වා ඉහළට

අප්‍රේ 18, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳුනු පුද්ගලයන් සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    අද වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 4ක්. පුද්ගලයන් 9 දෙනෙකු අද දිනය තුල සම්පූර්ණයෙන් සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

    කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට අද තහවුරු වූ පුද්ගලයන්ගෙන්, තිදෙනෙකු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පුද්ගලයින්. අනෙක් පුද්ගලයා නිවසක ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ආසාදිතයින්ගෙන් ප්‍රතිකාර ලබා සුව වූ සංඛ්‍යාව 77ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 07ක්. ඒ අනුව, අද වනවිට කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු තවත් රෝගීන් 165 දෙනෙකු ඒ සඳහා වෙන්කර ඇති රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබයි. ඒ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මුලික රෝහල සහ ඉරණවිල රෝහලයි. තවමත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ, කළුතර, පුත්තලම, ගම්පහ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින්.

    නිරෝධායනය සඳහා මධ්‍යස්ථාන වෙත යොමු කළ පිරිස අදවන විට පුද්ගලයන් පන් දහසක් පමණ වන බව, යුද හමුදාව පවසයි. ඉන් 1500ක පමණ ප්‍රමාණයක් තවදුරටත් තම නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කර නොමැති හෙයින් එම මධ්‍යස්ථානවලම රැඳී සිටී. දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු නිරෝධායන මධ්‍යස්ථාන 55න් අද වනවිට ක්‍රියාත්මක කෙරෛන්නේ නිරෝධායන මධ්‍යස්ථාන 18ක් පමණි. අද දිනයේ ද පුද්ගලයන් 115 දෙනෙකු සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නව දෙනෙකු ද ඒ අතර වේ. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමු කළ බව නාවික හමුදාව පවසයි. මේ අතර පූනානි නිරෝධායන මධ්‍යස්ථනායේ සිටි 106 දෙනෙකු ද සිය නිරෝධායන කාලසීමාව අවසන් කර නිවෙස් වෙත පිටව ගියේය.

    මරදාන ඉමුමාල් ආරුස් මාවතේ පුද්ගලයන් 314 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. ඔවුන්ගෙන් 212 දෙනෙකු සිය නිරෝධායන කාලසීමාව අවසන් කර ඊයේ තම නිවෙස් වෙත පැමිණියේය. ඔවුන්ගෙන් තවත් 92ක පිරිසක් අද සිය නිවෙස් වෙත පැමිණි බව අප වාර්තාකරු පවසයි.

    අනුරාධපුර, බණ්ඩාර පුලියන්කුලම ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයන් නිරෝධායනයට ලක්කර තිබේ. එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයට ගොස් නැවත පැමිණිම හේතුවෙන් මෙම තීරණය ගත් බව අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. අදාල පුද්ගලයන් දෙදෙනාගේ නිවෙස්වල සාමාජිකයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ නිවාස මෙලෙස නිරෝදායනයට ලක්කර තිබේ.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු පුද්ගලයෙකු ඇසුරු කළ 06 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබේ. ඔවුන් ග්‍රෑන්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එම පුද්ගලයන් වැලිසර ලය රොහලේ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරනු ලැබූ බව නාවික හමුදාව පවසයි.

    රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් 19 රෝගය ආසාදනවීම හේතුවෙන් එම ප්‍ර දේශයට පැමිණිම සහ ඉන් පිටවීම පසුගියදා සිට තාවකාලිකව නවත්වනු ලැබීය. රෝගය වැළඳුණු කාන්තාව සම්පූර්ණයෙන් සුව වී අද නිවස වෙත පැමිණියාය. ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විෂබීජිනුහරණය කිරීම අද සිදු කෙරිණ.

    කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයට සහ තොටළඟ ප්‍රදේශයට ආසන්න නාගලගම්වීදිය ප්‍රදේශය පසුගියදා සිට හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කරනු ලැබීය. ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර සිටි පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය විය. ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකු මෙම ප්‍රදේශයේ සැරිසරා ඇති බවට වාර්තා වූ තොරතුරු සමඟයි නාගලගම්වීදිය ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණේ. ඔවුන්ට සෞඛ්‍ය ආරක්‍ෂිතන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආදිය ලබාදීම සිදු කෙරේ.

    හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට රුපියල් මිලියන 50ක් වටිනා උපකරණ තොගයක් අද පරිත්‍යාග කෙරිණ. ඒ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමියන්ට විදෙස් රටවලින් ලැබුණු ආධාරවලින්. බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් උපකරණ තොගය රෝහලට බාරදෙනු ලැබීය.

    කොවිඩ් 19 රෝගය මෙරටින් තුරන් කිරීමට රාජ්‍ය නායකත්වයෙන් ලැබෙන සහය අගය කළ යුතු බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ශනිදා ආයුබෝවන් වැඩසටහනට එක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද කියා සිටියේය.

    Latest News