රු. 5000 ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මකයි

අප්‍රේ 18, 2020

    කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පීඩාවට පත් තවත් ක්‍ෂේත්‍ර රැසක පිරිස් වෙත රුපියල් 5000ක දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකයි.

    සහනාධාර ලැබීම සඳහා සුදුසු පිරිස් තෝරා ගැනීම ග්‍රාමීය කමිටු හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සංරක්‍ෂණ අමාත්‍යාංශ්‍ය පවසයි.

    අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම, සම්බන්ධීනකරණය හා පසු විපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නියමයන්ට අනුකූලව සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. එම කාර්ය සාධක බලකාය රුපියල් 5,000 දීමනාව සඳහා රැකියා ඛාණ්ඩ කිහිපයක්ම හඳුන්වා දී තිබේ. පෙර පාසල් ගුරුවරුන්, පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, රජයේ සේවයේ නොයෙදෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්, හස්ත කර්මාන්තකරුවන්, අත්යන්ත්‍ර පේෂ කර්මාන්තකරුවන්, අධිකරණ නියෝග මත නඩත්තු දීමනා ලබන කාන්තාවන්, ආදායම් අහිමි කුඩා තේවතු හිමියන් සහ ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් යන පිරිස් වෙත සහනාධාරය හිමිවනු ඇත. එම පිරිස් ලියාපදිංචි වී සිටින රාජ්‍ය හා පළාත් මට්ටමේ ආයතනවලින් ලබාගත් නාමලේඛන මේ වනවිට ග්‍රාමීය කමිටු වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

    මීට අමතරව, ග්‍රාමීය කමිටුවේ නිර්දේශයන් මත ග්‍රාමීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නිරත වන්නන්, ග්‍රාමීය මට්ටමේ සේවා සපයන්නන් සහ ග්‍රාමීය අලෙවි කරණයේ යෙදෙන්නන් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙහිදී තමාගේ සේවාවන් සඳහා ලියාපදිංචි වී ඇති ස්ථාන වෙතින් බැහැරව වෙනත් ස්ථානයක පදිංචිවී සිටි නම්, එම පුද්ගලයින්ට ද දැනට පදිංචි ප්‍රදේශයෙහිම සිට මෙම සමාජ ප්‍රතිලාභ මුදල් ලබාගත හැක. ඒ සඳහා තමන්ගේ වෘත්තීය ලියාපදිංචි අනන්‍යතාවය සහ පදිංචිය සනාථකර ග්‍රාමීය කමිටුව වෙත තම ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය. කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්‍ෂණ අමාත්‍යාංශය අවධාරණය කරන්නේ, මෙම වැඩපිලිවෙල දිවයිනේ සෑම ග්‍රාම සේවා වසමකම පිහිටුවා ඇති ග්‍රාමීය කමිටු හරහා ක්‍රියාත්මක වන බවයි. මේ අතර සියලුම රාජ්‍ය නිලධාරීන්, ජනතාවට සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළ සමඟින් මේ වනවිට එක්ව සිටී.

    Latest News