සඳුදා සිට ලංගම හා දුම්රිය ගමන් වාර පොදු ප්‍රවාහනයට

අප්‍රේ 18, 2020

    ලබන 20 වැනිදා සිට ලංගම බස් රථ පන් දහසක් හා දුම්රිය ගමන් වාර 400ක් පොදු ප්‍රවාහනය සඳහා යෙදවීමට රජය තීරණය කර තිබේ.

    කොවිඩ් 19 වසංගතය නිසා අත්හිටුවා තිබූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා ලබන 20 වැනිදායින් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇත.

    සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීමට පොදු ප්‍රවාහන සේවා යළි පෙර පරිදිම යෙදවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය. ආරක්‍ෂක හා සෞඛ්‍ය ලබාදී ඇති මාර්ගෝපදේශන යටතේ පොදු ප්‍රවාහන සේවා සිදු කිරීමට නියමිතයි. ඒ යටතේ මහජන ආරක්‍ෂාව උදෙසා ක්‍රියාවට නැංවීමට තීරණ කිහිපයක් ලනු ලැබීය.

    ඒ යටතේ අත්‍යවශ්‍ය සේවා සඳහා සහබාගි නොවන කිසිවෙකු දුම්රිය හෝ බස් රථවලට හෝ ඇතුලු කර නොගැනීමට තීරණය කෙරිණ. සෑම දුම්රිය ස්ථානයකදීම මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැනීමට නියමිතයි. දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කෙරෙන අතර, දුම්රිය ස්ථානවල හෝ මැදිරිවල කෙළ ගැසීම, වෙළඳාම් කිරීම හා සිඟමනේ යෙදීම මුලුමණින්ම තහනම්. පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා මගීන් මුව ආවරණ පැළඳීම හා මීටරයක පරතරයක් තබාගෙන ගමන් කිරීම අනිවාර්ය කර තිබේ. දුම්රිය මැදිරි මෙන්ම බස් රථ දින දෙකකට වරක් හෝ විෂබීජිනුහරණය කිරීමට නියමිතයි.

    දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රජය සහ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ලබන 20 වැනිදා සිට කාර්යාල දුම්රිය සේවය නැවත ආරම්භ කරන බවයි. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්ක තුළ සාමාන්‍ය ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකිය. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල දුම්රිය ස්ථානවලට ඇතුළුවීමට හෝ පිටවීමට හෝ ජනතාවට අවස්ථාව නොලැබෙන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අවධාරණය කරයි.

    Latest News