රු. 5000 දීමනාව තවදුරටත් ක්‍රියාත්මකයි

මැයි 06, 2020

    75%ක පමණ පිරිසක් තම මැයි මස විශ්‍රාම වැටුප අද (06) දින වනවිට ලබාගෙන ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

    මෙවර විශ්‍රාම වැටුප වෙසක් දිනට පෙර ලබාදීමට රජය තීරණය කළේය.

    ඒ අනුව ඊයේ සහ අද විශ්‍රාම වැටුප්, බැංකු සහ තැපැල් කාර්යාල මගින් ලබාදීම සිදු කෙරිණ. කොරෝනා වසංගතය නිසා ජීවනෝපාය අහිමි වූ ජනතාව සඳහා ලබාදෙන රුපියල් පන් දහසේ දීමනාව ද අදාළ පුද්ගලයන්ට ගෙවීම තවදුරටත් ක්‍රියාත්මකයි. එලෙස ගෙවනු ලබන්නේ, අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව සුදුසුකම් සැපිරූ පුද්ගලයන්ටයි. ලබන 11 වැනිදා සිට ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට මැයි මාසය සඳහා ලබාදෙන රුපියල් පන් දහසේ දීමනාව ද ගෙවීම සිදු කෙරේ.

    විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අද දිනයේත් විශ්‍රාමිකයන්ට ප්‍රවාහන පහසුකම් සලසා තිබිණ.

    වාද්දුව තැපැල් කාර්යාලයෙන් විශ්‍රාම වැටුප් ගෙවීම ඊයේ සාර්ථවක සිදු කෙරිණ. එහි නිලධාරීන් නිවෙස් වෙතට ගොස් වැටුප් ලබාදීම සිදු කළේය.

    නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පුද්ගලයන්ට ද රුපියල් පන් දහසේ දීමනාව ගෙවීමට ඊයේ පියවර ගනු ලැබීය. ජීවිකාව අහිමි වූ ප්‍රදේශවාසීන්ට ප්‍රමුඛත්වය ලැබේ.

    බද්දේගම තැපැල් කාර්යාලය ද ඊයේ විවෘත කෙරිණ. ඒ, විශ්‍රාම වැටුප් ලබාදීමේ අරමුණින්. ජනතාව සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් වැටුප ලබාගැනීමට පැමිණ සිටියේය. මේ අතර ගෝනපීනුවල මහජන බැංකු ශාඛාවට ද විශ්‍රාමිකයන් පැමිණියේ තම වැටුප ලබාගැනීමටයි.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන්ට මැයි මාසය සඳහා ලබාදෙන රුපියල් පන් දහසේ දීමනාව ගෙවීම ඊයේ සිට ආරම්භ කෙරිණ. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියළුම සමෘද්ධි කාර්යාල විසින් ගෙවීම සිදුකරනු ලබයි.

    ගාල්ල විශ්‍රාමිකයන් ද ඊයේ සවස සහ අද රාජ්‍ය බැංකු වෙත පැමිණ වැටුප ලබාගත්තේය. නිසි සෞඛ්‍ය ක්‍රමවේද පිළිපදිමිනුයි ඔවුන් ඊට එක්වුණේ.

    Latest News