අද (06) රාත්‍රී 8.00 සිට ලබන 11 අලුයම 5.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

මැයි 06, 2020

    මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි අද රාත්‍රී 8.00 සිට ලබන 11 දින අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.

    අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය ද නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මකයි.

    අධි අවදානම් කලාපවල ඇඳිරි නීතිය තිබියදී, ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්වයට පත් කිරීම ලබන 11 වැනිදා ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන එදින සිට විවෘත කොට පවත්වා ගෙන යා යුතුය. ඒ සඳහා දැන් සිටම සැලසුම් සකස් කරන ලෙස, ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. ආයතන විවෘත කර පවත්වාගෙන යාමේදී, සෞඛ්‍ය මාර්ගෝපදේශන සම්පූර්ණයෙන් පිළිපැදිය යුතුවේ. පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00ට විවෘත කළ යුතුය. දෙඅංශයේම ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව ආයතන ප්‍රධානීන්ට තීරණය කරන ලෙස ද දැනුම් දී තිබේ. පොදු ප්‍රවාහන සේවා රැකියා සඳහා යන-එන අයට පමණක් සීමාකර තිබේ.

    අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයා රෝග නිවාරණයට සහය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටිය යුතුය. ජනතාව නිවසින් බැහැරව යා යුත්තේ, ආහාර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව, නිවෙස්වලින් බැහැරයාමට දෙන අවසරය අදාළ වන්නේ, ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණි. ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු ප්‍රදේශවල ජනතාවට මෙය කිසිසේත් අදාළ වන්නේ නැත. ඇඳිරි නීතිය තිබියදී ආර්ථිකය හා ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමේ අරමුණෙන් මෙම සියලු විධිවිධාන ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව, ඊයේ උදේ 6.00 සිට අද උදේ 6.00 දක්වා කාලය තුළ ඇඳරි නීතිය කඩ කළ 394 දෙනෙකු අත්අඩංගුවට ගත් බව, පොලිසිය පවසයි. පොලිස් බාරයට ගැනුණු වාහන සංඛ්‍යාව 87ක්. ඇඳිරි නීතියකඩ කිරීම හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පිරිස 47,236ක්. එම කාලසීමාවේ වාහන 12,239ක් පොලිසි බාරයට ගෙන තිබේ.

    Latest News