තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම අවසන් - මැතිවරණ මහලේකම් කාර්යාලය

ජූනි 20, 2020

    මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව, මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

    පසුගිය 18 වැනි දින එම කටයුතු අවසන් කිරීමට පියවර ගත් බව එම කාර්යාලය සඳහන් කළේය.

    මේ අතර, අගෝස්තු 5 වැනි දින පැවැත්වෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ජුනි 30, ජුලි 01 වැනි දින සහ 02 වැනි දින සිදු කිරීමට නියමිතය.

    මෙවර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සළකුණු කිරීම ජූලි මස 14, 15, 16 සහ 17 යන දිනවලදී සිදු කෙරෙයි.

    රාජ්‍ය ආයතනවල සේවකයින්ට තැපැල් ඡන්දය සළකුණු කිරීමට ජුලි මස 14 සහ 15 යන දෙදින වෙන් කර ඇති අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ජුලි මස 16 සහ 17 යන දෙදින නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    එම දිනවලදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සදහා ජූලි මස 20 සහ 21 යන දිනවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමේ පහසුකම සළසා දී තිබේ.

    මේ අතර, එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ පැමිණිලි භාර ගැනීමට සහ පැමිණිලි විමර්ශනය සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇත.

    Latest News