එම්.අර් ලතීෆ් මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙයි

සැප් 27, 2020

    ත්‍රස්තවාදින්ට එරෙහිව ක්‍රියාත්මකවීමට පොලිස් විශේෂ කාර්යය බලකායට සුවිශේෂි හැකියාවක් තිබියදිත් පාස්කු ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධි අංශ කළ පුර්ව දැනුවත් කිරීම පිළිබදව එවකට පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තමන්ව නිසි ලෙස දැනුවත් නොකළ බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරි එම්.අර් ලතීෆ් මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කළා.

    ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින් ලතීෆ් මහතා වැඩිදුරටත් කිය සිටියේ ප්‍රහාරයට පෙරදින ලද නිශ්චිත අනතුරු ඇගවීම පිළිබද රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තමන් දැනුවත් කළේ නම් කොළඹ නගරය වසා ත්‍රස්තවාදින් අත්අඩංගුවට ගෙන ප්‍රහාරය ව්‍යාර්ථ කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකායට පැහැදිලි හැකියාවක් තිබු බවයි.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට පොලිස් විශේෂ කාර්යය බලකාය භාර අණදෙන නිලධාරියාව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා ඊයේ පළමුවරට සාක්ෂි ලබාදීම සදහා ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

    එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ ප්‍රහාරයක් පිළිබද ඉකුත් වසරේ අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශයක් ලබාදුන් මුල් පුර්ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබද ඔබ දැනසිටියේද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් ලතීෆ් මහතා කියා සිටියේ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් තමන්ට යොමුකර තිබු අදාළ තොරතුර ඉකුත් වසරේ අප්‍රේල් මස 09 දින පස්වරු 18.45 ට පොලිස් විශේෂ් කාර්යය බලකා මුලස්ථානයට ලැබී තිබු බවයි.

    කෙසේ වෙතත් එම අවස්ථාව වන විට ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් මත තමන් විදෙස් ගතව සිටි බව ලතීෆ් මහතා කියා සිටියා.

    අප්‍රේල් මස 10 වන දින තමන් යළි දිවයිනට පැමිණිමෙන් පසු කාර්යාලයට යාමට ප්‍රථම එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අමතා " සර්, විශේෂ යමක් තියෙනවාදැයි විමසු අතර එහෙම විශේෂ දෙයක් නැහැ යැයි පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුන් බව ලතීෆ් මහතා ප්‍රකාශ කළා.

    පසුව එදින කාර්යාලයට ගිය අවස්ථාවේදි අදාළ විදෙස් බුද්ධි තොරතුර කෙරෙහි තම අවධානයට යොමු වු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකාගේ කොට්ඨාස භාර නිලධාරින් මෙන්ම ප්‍රභූ ආරක්ෂක අංශය හා ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශවල සිටි පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින්වද දැනුවත් කළ බව ලතීෆ් මහතා වැඩිදුරටත් කියා සිටියා.

    එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 10 දින සිට අප්‍රේල් 20 වන දින දක්වා වූ කාලය තුළ ඔබට පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හමූවු අවස්ථාවක අප්‍රේල් 04 ලද පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර සාකච්ඡාවට ලක්වුයේද යන්නයි.

    එහිදි තමන් සේවයේ යෙදි සිටියදි භාවිතා කළ සටහන් පොත පරික්ෂාවට ලක්කළ ලතීෆ් මහතා කියා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 11 දින පැවති මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබද සාකච්ඡාවකදි තමන් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවු අතර එදිනම පස්වරුවේ වැඩිදුර සාකච්ඡාවක් සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවු බවයි.

    කෙසේ වෙතත් අදාළ හමුවීම් දෙක තුළදීම අප්‍රේල් 04 ලද බුද්ධි තොරතුර පිළිබද කිසිදු වචනයක් පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා තමන් සමග සාකච්ඡා නොකළ බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරියා සදහන් කළා.

    මෙහිදි ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂිදෙමින් ලතීෆ් මහතා කියා සිටියේ ඇතැම් පුද්ගලයින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලද පුර්ව දැනුවත් කිරීම් පිළිබද අප්‍රේල් 18 දින තමන් සමග සාකච්ඡා කළ බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාක්ෂි දී තිබුණද, අප්‍රේල් 15 දින සිට අප්‍රේල් 18 වන දින දක්වා තමන් මත්ද්‍රව්‍ය නිවාරණ ලෝක නිලධාරින්ගේ සම්මන්ත්‍රණයකට විදෙස් ගතව සිටි බැවින් එවැනි කිසිදු දැනුවත්විමක් එකි කාලය තුළ සිදු නොවු බවයි.

    මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඔබ විදෙස්ගතව සිටියදි එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාව සිටි නිලන්ත ජයවර්ධන මහතා ඔබ සම්බන්ධ කරගැනීමට උත්සහා දරා තිබුණේද යන්නයි.

    "නැහැ. නිලන්ත මට කතා කළේ අප්‍රේල් 19. අප්‍රේල් 16 කාන්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීමක් වෙලා තියෙනවා ඒ ගැන මොකද හිතන්නේ කියලා ඇහුවා. මම කිව්වා දැනුයි ලංකාවට ආවේ නිලධාරින් යොදවලා සොයා බලලා අදාළ පිපිරීම ගැන පසු වාර්තාවක් දෙන්නම්" යැයි තමන් පැවසු බවට ලතිෆ් මහතා සාක්ෂි ලබාදුන්නා.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

    "පස්සේ මම 20 සවස නිලන්තට කතා කළා. නිලන්තට මම විග්‍රහ කළා මේක අත්හදා බැලීමක් කියලා. මෙවැනි පිපිරීමකින් බහුතර මිනිස් ජීවිත සංඛ්‍යාවක් විනාශ වෙන්න පුලුවන් කියලත් මම පැහැදිලි කළා. බයිසිකලයක් පුපුරුවා අත්හදා බැලීම කරලා තිබුණ නිසා බයිසිකලයක් මහජනතාව අතරට ගෙන ආ හැකි කියලත් මම කිව්වා" යැයි ලතිෆ් මහතා වැඩිදුරටත් සාක්ෂි දුන්නා.

    කෙසේ වෙතත් ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂිදෙමින් පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරියා සදහන් කළේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුරු සහ ඒ වන විට රාජ්‍ය බුද්ධි සේවය සහ මෙරට වගකිවයුතු නිලධාරින් සතුව පැවති තොරතුරු පිළිබද තමන් නිසි ලෙස දැනුවත් කිරීමක් සිදු නොවු බවයි.

    එහිදි ඔහු කියා සිටියේ,

    "අප්‍රේල් 21 න් පස්සේ තමයි එස්.ටි.එෆ් එකට තොරතුරු එන්න පටන් ගත්තේ. ඇයි 21 න් පස්සේ ? එස්.ටි.එෆ් එකට කුතුහලයක් ඇයි මේවා කළින් එව්වේ නැත්තේ කියලා. පොලිස්පතිවරයාට විශේෂ කාර්යය බලකාය ගැන විශ්වාසයක් තිබ්බා නම් ඇයි තොරතුරු මාත් එක්ක බෙදාගත්තේ නැත්තේ. අනිත් අයට සහරාන්ලා ගැන කළින් විස්තර යවලා තිබ්බා. මම සහරාන් සහ අන්තවාදි කණ්ඩායම ගැන විස්තර දන්නේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සලයට අපිව කැදෙව්වාම. එතකං මම දන්නේ නැහැ. මට ආවේ විදෙස් බුද්ධි අංශයකින් කළ පළමු දැනුවත් කිරීම විතරයි. ඒ ලිපියේ තිබ්බේ හරිම සීමිත තොරතුරු. නමුත් රාජ්‍ය බුද්ධි සේවය, ජාතික බුද්ධි ප්‍රධානියා සහ පොලිස්පති අතර මිට වඩා ගොඩාක් තොරතුරු හුවමාරු වෙලා තියෙනවා. ත්‍රස්තවාදින් කණ්ඩායමේ නම්, සම්බන්ධතා, ගැවසුන ප්‍රදේශ ආදි විස්තරාත්මක තොරතුරු. මට ඒ ලිපි ආවේ නැහැ.

    මුලදි ආරක්ෂක කවුන්සලයට අපිව කැදවීමක් කළා. සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර නීතිය හා සාමය අමාත්‍ය භාරව ඉද්දි මම ඔවුන්ගෙන් සහ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියා අපව ආරක්ෂක කවුන්සලයට කැදවන්න කියලා. නමුත් කැදෙව්වේ නැහැ. ඒ වෙද්දි මත්ද්‍රව්‍ය මැඩලීමටත් එස්.ටි.එෆ් එක විශේෂ කාර්ය භාරයක් කළා. එහෙම තියෙද්දිත් අපිව බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමටවත් කැදෙව්වේ නැහැ. මට අප්‍රේල් 09 ඒ තොරතුරු දුන්නානම් දවස් 13 ක් තිබ්බා විශේෂ එස්.ටි.එෆ් මෙහෙයුමක් කරලා මේ ප්‍රහාරය ව්‍යාර්ථ කරන්න. 20 සවස මම නිලන්තට කතා කරලා 16 බෝම්බ පුපුරුවා කළ අත්හදා බැලීම ගැන කියද්දිත් නිලන්තට හෙට හෝ ඊට කළින් ප්‍රහාරයක් වෙනවා කියන නිශ්චිත තොරතුර ලැබිලා තිබිලා තියෙනවා. ඇයි එක මට කිව්වේ නැත්තේ.

    20 ඒ තොරතුර ගැන කිව්වානං මම කොළඹ සහ බස්නාහිර පළාත සීල් ඕෆ් කරනවා. හදිස්සි මාර්ග බාධක දානවා. හදිස්සි ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් කොටු කර ගත්තානම් මේ ප්‍රහාරය ව්‍යාර්ථ කරන්න තිබුණා.

    20 තොරතුර ගැන ඇයි මාව දැනුවත් නොකළේ කියන එක අදටත් මට ප්‍රහේලිකාවක්. " යැයි පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරි එම්.ආර් ලතීෆ් මහතා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදුන්නා.

    Latest News