20 වන සංශෝධනය ගැන විපක්‍ෂය අසත්‍ය ප්‍රචාරය කරයි; අගමැති

ඔක් 04, 2020

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත්, විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කිරීමට නියමිත බවට සාවද්‍ය ප්‍රචාරයක් විපක්‍ෂය ගෙන යන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, 1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම හැමදාමත් ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල පැවතියේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුළ බවයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට පෙර පැවති 154 (1) වගන්තියේ “සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු“ යන වදන තුලට ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල ඇතුලත් වී තිබේ. මේවා, කවදත් රජයේ දෙපාර්තමේන්තු හැටියට, රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ ලැයිස්තුගත කර තිබූ ආයතන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

    මෙම ආයතන දෙක පමණක් නොව, හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් පවත්වාගෙන යන කාර්යාලය ද වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස සැලකේ. මෙම සියලු ආයතන කවදත් විගණනය කළේ විගණකාධිපතිවරයා බව, අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල 19 වැනි සංශෝධනයෙන්, 154 (1) වගනිත්ය තුළ නම් වශයෙන් සඳහන් කිරීමෙන් අලුත් දෙයක් සිදුවී නොමැත.

    මෙවැනි ඊනියා වෙනස්කම් වෙනුවට, 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම පැවති වගන්තිය 20 වැනි සංශෝධනයෙන් නැවත ස්ථාපිත කළ විට, ඒ යටතේ ද ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල රජයේ දෙපාර්තමේන්තුව ලෙස විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ දිගටම පවතින බව නිවේදන සඳහන්. පසුගිය දශක ගණනාව පුරාම මෙම කාර්යාල දෙක විගණනය කර තිබෙන්නේ විගණකාධිපතිවරයා මිස, පෞද්ගලික විගණන සමාගම් නොවන බව නිවේදනයේ සඳහන්.

    20 වැනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට, සමාජය තුළ දුර්මතයක් ඇති කිරීමට විපක්‍ෂය උත්සාහ දරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. එහි ප්‍රධානතම දුර්මතය වන්නේ, 19 වැනි සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළ බවත්. 20 වැනි සංශෝධනයෙන් එය අහෝසි කිරීමට යන බවත්ය.

    19 වැනි සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති නොකළ අතර එම සංශෝධනයෙන් සිදුකර ඇත්තේ, විගණන සේවා කොමිසමක් පිහිටුවීම පමණි. මෙම විගණන කොමිසමෙන් කිසිදු විගණන කටයුත්තක් සිදු නොවන අතර එමගින් සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම් සහ විනය පාලනය වැනි කටයුතුයි.

    රජයේ සේවකයන් සම්බන්ධයෙන් එවැනි කටයුතු සිදු කරන්නේ රාජ්‍ය සේවා කොමිසම මගිනි. විගණන සේවා කොමිසමක්, 19 වැනි සංශෝධනයෙන් ඇති කිරීමෙන් සිදුවී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම මගින් කෙරෙන කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා, තවත් එවැනිම කොමිසමක් ඇති කිරීම පමණක් බව අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන්. රජයේ අයිතිය යටතේ පවතින සමාගම්, විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කරන බව, 20 වැනි සංශෝධනය ගැන ප්‍රචාරය කරන තවත් දුර්මතයක්. 19 වැනි සංශෝධනයේ පැවති පරිදිම රජය යටතේ පවතින ආයතන, 20 වැනි සංශෝධනයෙන් ද වෙනසක් කර නොමැති බව අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කරයි.

    20 වැනි සංශෝධනයෙන් පසු සුදුසුකම් නැති පුද්ගලයෙකු වුවද විගණකාධිපති ධූරයට පත් කළ හැකි බවට විපක්‍ෂය තවත් බොරු ප්‍රචාරයක් ගෙන යමින් සිටී. නීතිපතිවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු හැටියට පත්කළ යුත්තේ, නීතිඥයෙකු යැයි ව්‍යවස්ථාවේ කොතැනකවත් සඳහන් වන්නේ නැහැ.

    නමුත් නීතිපති, විගණකාධිපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර හැටියට සැමවිටම පත්වන්නේ, අදාල විෂය ගැන අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයන්. එසේ නැතිව එවැනි ධූරවල වැඩ කළ නොහැකි බව අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන්වේ. 20 වැනි සංශෝධනයෙන් කෙරෙන්නේ, විගණකාධිපතිවරයා සම්බන්ධ වගන්තිවලට 19 වැනි සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කොට, 19ට පෙර ව්‍යවස්ථාවේ තිබුණු වගනිත් නැවත එලෙසම ස්ථාපිත කිරීමක්.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම වගනිත් බොහෝ අයට අවබෝධයක් නැතිය යන උපකල්පනය මත විපක්‍ෂයේ පිරිස් ජනතාව මුලා කිරීමේ අරමුණෙන් කිසිදු පැකිලිමකින් තොරව බොරු ප්‍රචාරය කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

    කරුණු හරියට අවබෝධ කරගෙන විපක්‍ෂයේ මේ දුෂ්ඨ උත්සාහය පරාජය කිරීම අප කාගේත් යුතුකමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    Latest News