ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු කර්මාන්ත ශාලාවල සේවකයින් PCR පරීක්ෂණයට

ඔක් 05, 2020

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙන් කිරීමට අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ජාවකදී තීරණය කොට තිබෙනවා.

    ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හට PCR පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර සිටින්නේ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තාවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය පාලනයට, මැඩපැවැත්වීමට සහ ප්‍රතිකාර සේවාවක් ශක්තිමත් කිරීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

    එහිදී ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගත් සැළසුම් සහගත වැඩසටහනක් කඩිනමින් සකස් කර ක්‍රියාවට නංවන ලෙසත්, දැනට රසායනාගාර තුල සිදු කරන PCR පරීක්ෂණ සේවාවන් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටතට වෛරසය පැතිරීම වැළැක්වීමට ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබදව ද සාකච්ජා කෙරිණ.

    Latest News