යහපාලන රජයේ තීන්දු-තීරණ ගත්තේ රනිල් සහ සාගල; විජයදාස රාජපක්‍ෂ

ඔක් 08, 2020

    දූෂණ මර්දන ක්‍රියාවලියට අදාලව පසුගිය යහපාලන රජය සමයේදී සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා ලබාදෙමින්. දූෂණ විරෝධී කමිටුවේ නිර්දේශ මත සාවද්‍ය මුදල් පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන අසත්‍ය චෝදනා යටතේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීම මගින් දේශපාලන පළිගැනීමක් සිදු වූ බවට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂක පියදාස කුඩාබාලගේ මහතා කළ පැමිණිල්ලකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අද කොමිසම හමුවේ පෙනී සිටියේය.

    ජනාධිපති කොමිසම හමුවේ විජයදාස රාජපක්ෂ මහතා සාක්ෂි ලබා දෙන්නේ දෙවැනි වරටයි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ පැමිණිල්ලට අදාළව ලබාදුන් සාක්ෂිය කුඩා බාලගේ මහතාගේ පැමිණිල්ලට අදාළව ආදේශ කර ගැනීමට කොමිෂන් සභාව විජේදාස රාජපක්ෂ මහතාගේ කැමැත්ත විමසූ අතර ඒ සඳහා ඔහුගේ එකඟතාව පළ වුණා.

    කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේ දූෂණ මර්දන කමිටුවේ සාමාජිකයින්ගේ නම් ලැයිස්තුවේ තමාගේ නම ඇතුළත්ව තිබුණ ද කිසි දිනක එම කමිටුවේ රැස්වීම්වලට තමා සහභාගී නොවූ බවයි.

    එවිට කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ දූෂණ මර්දන කමිටුවේ රැස්වීම්වලට සහභාගී නොවුනාට ඒ පිළිබඳව තමාට අවබෝධයක් නොතිබුණේ ද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින් විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ,

    "නැත ස්වාමීනී ඒ පිළිබඳ දැනීමක් තිබුනේ නැහැ" යනුවෙන්.

    යහපාලනය රජය පිහිටුවා සති තුනක් ගතවෙද්දී ආණ්ඩුව සහ තමා අතර විශාල බෙදීමක් හා ගැටීමක් තිබුණ බවත්, ඒ නිසාම තමාව කිසිදු දෙයකට සම්බන්ධ කර නොගෙන යහපාලන රජය කටයුතු කළ බවත් විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ කියා සිටියා.

    "විශේෂයෙන්ම දූෂණ මර්දන කමිටුව ගැන කතා කරද්දි මම කිව්වා, දේශපාලන අරමුණු ඇති කමිටුවක සාමාජිකයෙක් විදිහට ඉන්න අධිකරණ ඇමැතිවරයා හැටියට යුක්ති සහගත නැහැ. ඒ නිසා මට ආරාධනා කළත් මම දූෂණ මර්දන කමිටුවට නොයනවා කියන ස්ථාවරය තමයි හිටියේ."

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ගැන අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ පොලිස් ආඥා පනත අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නීත්‍යානුකූල භාවයක් නොමැති බවයි.

    එම ඒකකය දේශපාලන මුහුණුවරක් ගන්නා බව පෙනෙන නිසාත් නීතිය සහ අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන බව පෙන්නුම් කළ නිසාත් රහස් පොලිසිය යටතේ වෙනම ඒකකයක් පිහිටුවා දූෂණ සම්බන්ධ පැමිණිලි ඇත්නම් එම ස්ථානයට යොමු කරන ලෙස තමා දේශපාලන නායකත්වයට යෝජනා කළ නමුත් තමාගේ යෝජනාව පිළිනොගත් බව ද ඔහු ප්‍රකාශ කළා.

    නීත්‍යානුකූල නොවූ ආයතනයක් පිහිටුවීම තුළින් බලාපොරොත්තු වූයේ දූෂණ මර්දන කමිටුවේ පැමිණිලි දේශපාලන අරමුණු ඔස්සේ විභාග කිරීම ද යන්න භාපති විනිසුරුවරයා එහිදී ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා.

    විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ,

    "එම කමිටුවල හිටියේ දේශපාලනඥයෝ සහ ඔවුන්ගේ ආධාරකරුවෝ. එතැන කිසිසේත්ම ස්වාධීනතාවයක් තියෙන්න බැහැ. නමුත් මගේ උපදෙස් පිළිපදින්න ඒගොල්ලො කටයුතු කළේ නැහැ. හේතුව පොලීසිය භාරව හිටියේ මම නෙවෙයි. ඒ සම්බන්ධව තීන්දු තීරණ ගත්තේ හිටපු අගමැතිවරයා සහ සාගල රත්නායක හිටපු අමාත්‍යවරයායි.

    කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ඒ මහතා කියා සිටියේ දූෂණ විරෝධීව ක්‍රියා කිරීම සඳහා රටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි. ප්‍රශ්නය තිබෙන්නේ ඒ සඳහා පැවති රජය අනුගමනය කළ ක්‍රමවේදයේ දුර්වලතාවය සහ එම කමිටුවල සිටි පුද්ගලයින්ගේ අපක්ෂපාතී බව පිළිබඳව යයිද ඔහු ප්‍රකාශ කළේය.

    දූෂණ මර්දනය කමිටුව හරහා ලැබෙන පැමිණිලි අතර වාස් ගුණවර්ධන වැනි නම් තිබීම තුළින් පෙනී යන්නේ මේ හරහා යම්කිසි කණ්ඩායමක් ඉලක්කගත කර ඇති බවක් නේද යැයි කොමිසම ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ "ඔව් ස්වාමීනි, එවැනි ඉලක්කගත කිරීමක් කර තිබෙන බව මෙමගින් පෙනී යනවා" කියායි. එමගින් සිදුකර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් යම් ඉලක්කගත රාමු අනුව පුද්ගලයින් ගෙන්වා, බලෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔවුනට විරුද්ධව නඩු පැවරීම යයි කොමිසම යෝජනා කළ අතර විජේදාස රාජපක්ෂ මහතා එය පිළිගත්තේය.

    Latest News