කොවිඩ් උවදුරෙන් රට බේරා ගැනීමට අවශ්‍ය සියල්ල සිදු කරනවා; ජනපති

ඔක් 08, 2020

    කොවිඩ් උවදුරෙන් රට බේරා ගැනීමට අවශ්‍ය සියල්ල සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    එතුමා මේ බව සඳහන් කළේ, සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින්.

    කොවිඩ් 19 උවදුර මුලු ලොවම වෙලාගත් මොහොතක ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිමත් බව විදහාලමින් අප එය මර්දනය කළ යුතු බව එතුමා කියා සිටී. කොවිඩ් 19 නැවත අප රට තුළ හිස ඔසවා තිබේ. පෙර සේම අපගේ සෞඛ්‍ය, ආරක්‍ෂක සහ අනෙකුත් සේවා අංශ මෙම උවදුරෙන් රට සහ ජනතාව බේරා ගැනීමට සියලු කටයුතු කරන බව ෆේස් බුක් පිටුවේ එතුමා තැබූ සටහනේ සඳහන්.

    මේ අභියෝගාත්මක අවස්ථාවේ සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙසත්, ඇතැම් පාර්ශ්ව බෙදාහරින අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් පමණක් තොරතුරු ලබාගන්නා ලෙසත්, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව මුලින් හඳුනා ගැනුණු රෝගීන් සංඛ්‍යාව 101ක්. 6 වැනි දවසේ තවත් රෝගීන් 731 දෙනෙකු හඳුනා ගැණින. ඊයේ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 202ක්. ඒ අනුව, දිවුලපිටිය කොවිඩි පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

    දිවුලපිටියෙන් හඳුනා ගැනුණු පළමු රෝගියාගේ දියණිය ඉගෙනුම ලැබූ පාසල අද විෂබීජානුහරණයට ලක් කළේය.

    කල්පිටිය, ඉලන්කඩිය ප්‍රදේශයේ නිරෝදායනයට යොමු කළ 21 දෙනෙකුගේ PCR පරීක්‍ෂණ සිදු කෙරිණ. ඔවුන් දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 රෝගියෙකු සමඟ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ අයයි.

    කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් වැළඳුණු කාන්තාවක අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර තිබේ.

    හඟුරන්කෙත, විමල්පුර ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 රෝගියෙකු ද අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට යොමු කෙරිණ. ඔහුගේ ආශ්‍රිතයන් 20 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

    අනුරාධපුර පූජා නගරයේ මල් වෙළෙඳුන් ඇතුළු පිරිසක් PCR පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ. කොවිඩ් 19 රෝගීන් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පුද්ගලයින් එම ප්‍රදේශයට පැමිණිම ඊට හේතුවයි.

    ගිනිගත්හේන ප්‍රදේශයේ 100 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝදායනයට යොමු කර තිබේ. ඊට හේතු වී ඇත්තේ, ප්‍රදේශයේ පාසලක උපහාර උළෙලකට සහභාගි වූ සංගීත කණ්ඩායමක්, ඊට පෙර දිනක මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සාදයකට සහබාගි වී තිබීමයි.

    කොවිඩ් 19 රෝගය වැළැඳුනු 34 දෙනෙකු ඊයේ රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබීය.

    ගම්පහ ප්‍රදේශයේ 150කගේ පමණ PCR පරීක්‍ෂණ අද සිදු කර තිබේ. මිරිස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් 19 වැළඳුණු රෝගීන් 2කගේ ආශ්‍රිතයන් ඊට අයත්. එම ප්‍රදේශයේම අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගි වූ එම ආයතනයේ 7න් 5කට කොවිඩ් 19 රෝගය වැළඳී තිබිණ. අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ පිරිස ද PCR පරීක්‍ෂණයට යොමු කෙරිණ.

    මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ අයිතිකරුට කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා තිබේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ඔහුගේ පුත්‍රයාගෙන් මෙම පුද්ගලයාට රෝගය වැළඳෙන්නට ඇති බව වාර්තාවේ. මෙහි රැඳී සිටි 250ක පමණ පිරිසක් කටාන පොලිස් අභ්‍යාස ආයතනයේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරිණ.

    අයි.සී.බී.ටී පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි. එම සිසුවා ඉකුත් ඉරිදා කොළඹ පිහිටි අයිසිබිටී විශ්වවිද්‍යාලයට පැමිණ ඇති බව වාර්තාවේ. එම දිනයේ දී හෝ ඉන් පසුව විශ්වවිද්‍යාලයට පැමිණි සියලු දෙනාම සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන්නැයි ඉල්ලීමක් කෙරේ.

    කුරුණෑගල, උයන්දන ප්‍රදේශයේ කොවිඩ් 19 රෝගය වැළඳුණු පුද්ගලයෙකුගේ ආශ්‍රිතයන් 13 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. ඔහු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ අයෙක්. ඔවුන්ගේ PCR පරීක්‍ෂණ අද සිදු කෙරිණ.

    බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ වවුනියාව, තෝනිකල්ලු ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු පුද්ගලයෙකුට කොවිඩ් 19 රෝගය නොමැති බව PCR පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

    කොළඹ කාසල් රෝහලෙන් වාර්තා වූ කොවිඩ් 19 රෝගය වැළඳුණු කාන්තාවගේ ආශ්‍රිතයන් PCR පරීක්‍ෂණවලට ලක් කෙරිණ. ඔවුන් මේ වනවිට නිරෝදායනයේ පසුවේ.

    වැල්ලම්පිටිය, හල්මුල්ල ප්‍රදේශයේ 12ක් ස්වයං නිරෝදායනයට යොමු කර තිබේ. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මිනුවන්ගොඩ මැඩෑමුල්ල ප්‍රදේශයට ගොස් නැවත පැමිණ තිබීම ඊට හේතුවයි.

    බ්‍රැන්ඩික්ස් ආයතනයට අයත් වාහන අලුත්වැඩියා කළ කැලණිමුල්ලේ ස්ථානයක පුද්ගලයන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. එම ස්ථානය ද තාවකාලිකව වසා දැමිණ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සහ ඊට අදාළ කටයුතු වෙනුවෙන් අමතර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 40ක් යෙදවීමට පියවර ගෙන තිබේ. දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 200කට අධික පිරිසක් එම කටයුතුවල නිරත වේ.

    බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ අයෙකු කල්පිටිය, නොරොච්චෝල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී තිබේ. ප්‍රදේශයේ 13 ක් PCR පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ. පිරිස නිරෝදායනයේ පසුවේ.

    මේ අතර කොවිඩ් 19 රෝගීන්ගේ සමීපතමයින් නිරෝධායනය සඳහා පින්නවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩනැගිලි සූදානම් කෙරුණේ, යුද හමුදාවේ සහභාගිත්වයෙන්. එම නිරෝධායන මධ්‍යස්ථානයේ 300 කට පහසුකම් පවතී.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති රජයේ ප්‍රකාශන කාර්යාංශය ලබන සිකුරාදා සිට 16 දක්වා වසා තැබේ.

    රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ සේවා යළි දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. සමාගම් සංස්ථාගත කිරීම, සමිති ලියාපදිංචි කිරීම හා පොදු කොන්ත්‍රාත් ලියාපදිංචි කිරීම ඇතුළු සේවා මාර්ගත ක්‍රමය ඔස්සේ කළ හැකි අතර, සියලු විස්තර www.drc.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

    ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලට ඇතුළුවීම සහ පිටවීම තහනම්. අදාළ ප්‍රදේශවල පුද්ගලයින් නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි. දුරගමන් සේවා බස් රථවලට එම ප්‍රදේශ ඔස්සේ ගමන් කළ හැකි වුවද, මගීන් නංවා ගැනීම සහ බැස්සවීම තහනම්. අනෙකුත් ප්‍රදේශවල පිරිස් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න සොයා බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. දැනුවත් කිරීමේ වැඩසටහන් ද පැවැත්වේ.

    කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පිටකොටුව පොලිසිය ක්‍රියා කළේය. ඒ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි.

    ඇහැළියගොඩ ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගීන් 2ක් වාර්තා වීමත් සමඟ නගරයට පැමිණෙන පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ ද යන්න පිලිබඳ සොයා බැලිණ. දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණ.

    මුඛ ආවරණ පැළඳීම සහ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීම පිලිබඳව වවුනියාව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කෙරිණ.

    Latest News