පාඨලීට එරෙහි නඩු විභාගය දෙසැම්බර් 11

ඔක් 12, 2020

    හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 11 වැනි දින ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දින නියම කළේය.

    නඩුව පවරා ඇත්තේ 2016 වසරේ පෙරවාරි 28 වැනි දින රාත්‍රීයේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදු කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙනි.

    විනිසුරුවරයා එහිදී නියෝග කරනු ලැබුවේ, එදින සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 5 දෙනෙකුට සිතාසි නිකුත් කරන ලෙසයි.

    පාඨලී චම්පික රණවක මහතා පැදවූ බව කියන ජීප් රථය එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කළේය.

    පාඨලී චම්පික රණවක මහතාට අමතරව එම නඩුවේ දෙවැනි හා තෙවැනි විත්තකරුවන් වන තුසිත දිලුම් කුමාර හා සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරු ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    Latest News