ජපුර සරසවියේ තවත් සිසුවියකට කොවිඩ් - නවතම තත්ත්වය

ඔක් 12, 2020

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ ඉගෙනුම ලැබු තවත් සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

    පසුගිය සෙනසුරාදා හඳුනාගත් පානදුර පදිංචි කොරෝනා ආසාදිත සිසුවිය සමඟ පෞද්ගලික නවාතැනේ නතරවී සිටි සිසුවියක් මෙලෙස කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවයි, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

    මේ අතර අදාළ සිසුවියන් නතරවී සිටි නිවස හිමි කාන්තාව සහ පිරිමි පුද්ගලයාගේ ද PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහිදී ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව වාර්ථා වේ.

    වෛරසය ආසාදනයවී නොමැති නමුත් ඔවුන් දෙදෙනා තවදුරටත් දින 14ක ස්වයං නිරෝධායනයකට ලක් කර තිබෙන බවද වාර්ථා වෙයි.

    මේ අතර, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙක් නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

    එම ශිෂ්‍යාවගේ පියා පසුගිය සැප්තැම්බර් මස 27 වැනි දින ඇය බැලීමට නවාතැන්පළට ගොස් ඇති අතර ඔහු කඳාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙක් බවට අනාවරණය වී තිබේ.

    සිසුවියගේ මව ඔක්තෝබර් මස 3 වන දින ඇය බැලීමට පැමිණ ඇති අතර, ඇය ආසාදිතයෙක් නොවන බව ද වාර්තා වේ.

    ආසාදිත පුද්ගලයාගේ දියණිය රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසර විද්‍යාපීඨ සිසුවියක් වන අතර, අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර, කපුගම ප්‍රදේශයේ පිහිටි නවාතැන්පළක රැඳී සිටි තවත් සිසුවියක් ද නිරෝධානයට යොමුකර ඇති බව වාර්තා වේ.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට ගාල්ලට ගමන්ගත් බස් රථයක කාන්තාවකට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තිබේ.

    බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලසන්ත උබේසේකර මහතා සඳහන් කළේ එම බස් රථයේම ගමන්ගත් තවත් 35කට ඉදිරිපත් වන ලෙසට කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ දක්වා කිසිවකුත් ඉදිරිපත් නොවී ඇති බවයි.

    මෙය ඉතාමත් බරපතල ගැටළුවක් වනු ඇති බව ඔහු සඳහන් කරයි.

    අදාළ බස් රථයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ සේවය කළ තැනැත්තියක් බවත්, ඇය පසුගිය 4 වැනි දින කඩවත සිට ගාල්ල බලා අධිවේගයේ ධාවනය වූ බස් (NB - 7323) රථයකින් ගාල්ලට පැමිණ තිබේ.

    වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ කොවිඩ් ආසාදිත කාන්තාව සමීපයේම පැමිණි පිරිස සමීප ස්පර්ශකයන් වන බැවින් ඔවුන්ට ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ඉදිරිපත්වී නොමැති බවයි.

    මේ වනවිට අදාළ කාන්තාව සහ බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා ද නිරෝධායනයට යොමු කර ඇත.

    දුම්රිය මගීන් වෙනුවෙන් අද දිනයේදී නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ ජංගම සායනයක් ක්‍රියාවට නැංවේ.

    එය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිදුකෙරේ.

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තුන්වැනි වේදිකාවේ මෙසේ නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලබයි.

    බ්‍රැන්ඩික්ස් සේවකයන් සමඟ කතරගම ගිය අයෙක්ට කොවිඩ් ආසාදනයවී ඇත.

    ගම්පොළ, කුරුඳුවත්ත, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයකුට කොවිඩ් - 19 වයිරසය ආසාදනයවී තිබේ.

    ඒ ඔහු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    ඒ අනුව එම රෝහලේ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයකු සහ හෙදියන් දෙදෙනකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අයකු නිරෝධායනය කර තිබේ.

    මොහු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් සමග කතරගම ගොස් ඇති අතර, ඉන් අනතුරුව ඔහුට ද වයිරසය ආසාදනය වී තිබේ.

    මොහුගේ ආශ්‍රිතයන් 16ක් නිරෝධායනය කර ඇත.

    ඔහු රෝහල්ගතවීමට පෙර සැලෝන් එකකින් රැවුල කපා ඇති අතර, එහි හිමිකරු ගමේ විහාරස්ථානය සමග සබඳකම් පැවැත්වූ අයෙකි.

    ඒ අනුව විහාරාධිපති හිමිනම ඇතුළුව තවත් දෙනමක්ද නිරෝධායනය කොට තිබේ.

     

    ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්ථා වේ.

    මේ බව එම මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් එම විද්‍යාලයට දැනුම්දී තිබේ.

    මෙම සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කම්හලෙහි සේවය කරන අතර, ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.

    එම හේතුවෙන් දියණිය PCR පරීක්ෂණයට භාජනය කිරීමේ දී මැයට ද රෝගය ආසාදනයවී ඇති බව, තහවුරුවී තිබේ.

    ඇය සමග අධ්‍යාපනය ලබන 12ශ්‍රේණියෙහි සිසුවියන් ස්වයං නිරෝධායනයට ලක් කිරීම පිණිස එම සිසුවියන්ගේ තොරතුරු ලබා දීමට විදුහල පියවර ගෙන ඇත.

     

    මේ අතර, වවුනියාව සහ යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් දෙක අද (12) සිට වසදමා තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පිහිටුවීමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබේ.

    පවතින කොවිඩ් අවධානම හේතුවෙන් අධ්‍යාපන විද්‍යාපීඨයන්හි සිසු සිසුවියන්ට නිවාඩු ලබා දී ඇත.

    ඊයේ සවස සිට එම විද්‍යාපීඨයන්හි අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාම යුදහමුදාව විසින් සිදු කරනු ලබා ඇත.

    වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානය පාලනය අධීක්ෂණය කරනු ලබන අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයන් අධීක්ෂණය කරනු ලැබේ.

    ඒ අනුව වවුනියාව විද්‍යාපීඨයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට අද දිනයේදී නිරෝධායනය වන පිරිස් 350කට අධික පිරිසක් රැගෙනවිත් ඇත.

    ඔවුන් එහි නිරෝධායනය කරවීමට පියවර ගෙන තිබේ.

     

    කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන කම්කරුවන් 28 දෙනෙකුට මේ වනවිට කොවිඩ් - 19 රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.

    ඊයේ දිනයේ සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් රෝගීන් 21 දෙනෙකු තහවුරු වී ඇති බව අද උදෑසන කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉඳුනිල් සමරතුංග මහතා පවසා තිබේ.

    ඒ අනුව, කටුනායක නෙක්ස්ට් ආයතනයේ සේවකයන් 20 දෙනෙකුට සහ චීප්වේ ආයතනයේ සේවකයන් එක අයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබේ.

    අද දවස තුළ තවත් රෝගීන් 7 දෙනෙකු වාර්තා වූ අතර ඒ අනුව මේ වනවිට කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් වාර්තා වී ති සමස්ත රෝගීන් සංඛ්‍යාව 28 දෙනෙකි.

    නමුත් මේ අවදානම මධ්‍යයේ වුවද කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීම හෝ එහි නිෂ්පාදන කටයුතු නතර කිරීම නොකරන බවට රජය තීරණයක් ගෙන තිබේ.

    මෙම තීරණය සමාගම් වල බලපෑම මත කම්කරුවන්ගේ ජීවිත අවදනාමේ හෙලමින් ගත් තීරණයක් බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

     

    එළුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමින්වහන්සේලා හතර නමක් ඇතුළුව කොවිඩ් රෝගීන් 22ක් හමුවීමත් සමග එළුවාපිටිය සහ එළුවාපිටිය ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා ප්‍රදේශ බවට පත්කර ඇති බව, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් ඒ.පී. ගුණවර්ධන ප්‍රකාශ කරයි.

    මීරිගම ප්‍රාදේශීය ​ලේකම් ප්‍රසාද් ඉන්දික පැවැසුවේ තම කොට්ඨාසයේ කුරීකොටුව සහ මාලිගාතැන්න ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් 5ක් මේ අයුරින් හුදෙකලා ප්‍රදේශ බවට පත්කර ඇති බවයි.

    කුරීකොටුව, කුරීකොටුව පහළ, මාලිගතැන්න පහළ සහ මාලිගතැන්න මධ්‍යම යන ග්‍රාම නිලධාරී වසම්වල ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වී ඇත.

    මෙම ප්‍රදේශයේ පවුල් 2768ක සාමාජිකයන් 8968 දෙනෙකු වාසය කරති.

    මෙම මාලිගතැන්න කොට්ඨාසයට උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇති වේයන්​ගොඩ මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇති අතර එම විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට විභාග අපේක්ෂකයන්ට, එහි කාර්ය මණ්ඩලවලට බාධාවක් නොමැති බවද ප්‍රකාශ කළේය.

     

    මන්නාරම ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයේ අසල ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයන් හැටදෙනෙකුට කොවිඩි ආසාදනය වූ බවට තහවුරු විය.

    එම නිසා මන්නාරම පට්ටිමෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන හුදෙකලා කර ඇත.

     

    මොරටුව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යාතනයක රුධිර පරීක්ෂාවක් සඳහා පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම රෝහල වසාදමා තිබේ.

    මෙම ආසාදිතයා පසුගිය ඔක්තෝබර් මස 05 වැනි දින අදාළ රෝහලට පැමිණ ඇති අතර, ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් සිදුකළ දැනුම්දීමකින් රෝහල වසා දැමීමට පියවර ගත් බව, මොරටුවේ පිහිටි එම වෛද්‍ය ආයතනය සඳහන් කරයි.

    එමෙන්ම අදාළ වෛද්‍යායතනයේ සියලුම සේවකයින් රජයේ සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීමට නියමිතයි.

     

    දොම්පේ පූගොඩ ප්‍රදේශයේ පිහිටි සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ සේවිකාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    පසුගියදා එම ආයතනයේ සේවක සේවිකාවන් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකෙරුණු අතර එම වාර්තා මඟින් ඇය ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත.

    එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය 8 වැනි දින සිට එම ආයතනයේ මෙහෙයුම් තාවකාලිකව නවතා දැමු බවයි.

    වෛරසය ආසාදිත කාන්තාව කිරිඳිවැල පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

     

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකු හට අද පෙරවරුවේ සිදුකළ PCR පරීක්ෂණයක් මගින් ඔහුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇති බව එහි මාධ්‍ය අංශ ප්‍රධානි දීපාල් වී. පෙරේරා තහවුරු කර සිටී.

    මෙම කාර්ය මණ්ඩල සාමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මේ වනවිට රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.

    ඔහුට බාහිර අයෙකුගෙන් මෙම වෛරසය වැළදී ඇති බව විශ්වාස කරන බවයි, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කර සිටියි.

    වෛරසය වැළඳී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ රාජකාරී කළ සේවකයින් 50 දෙනෙකු මේ වනවිට PCR පරීක්ෂණ වලට භාජනය කර ඇති අතර, එහි ප්‍රථිපල බලාපොරොත්තුවෙන් සිටින බවයි, ගුවන් සේවය සඳහන් කළේ.

    ආයතනය තුළ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ COVID - 19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව සිය ශ්‍රම බලකාය ආරක්ෂා කිරීමට ගුවන් සමාගම සෑම පියවරක්ම ගෙන ඇති අතර, සෞඛ්‍යයට හා අනෙකුත් රජයේ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරණ බව එම සමාගම නිවේදනය කර සිටී. 

     

    කොළඹ, මැරීන් ඩ්‍රයිව් හි පිහිටි පෞද්ගලික බැංකුවක සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීම නිසා එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබේ.

    මේ හේතුවෙන් එම බැංකු ශාඛාවේ සේවය කරනු ලබන සේවකයාගේ සමීප ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතින් හට රජයේ නිලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී ඇත.

    මේ වනවිට වසා ඇති එම බැංකු ශාඛාව හෙට දිනයේදී යළි විවෘත කිරෙීමට පියවර ගන්නා බව බැංකු කළමණාකාරිත්වය දැනුම් දේ.

     

     


    Latest News