“බසයෙන් අනාගතයට” දෙවැනි අදියර අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

මාර් 13, 2021

    ධාවනයෙන් ඉවත් කළ ලංගම බස්රථ, පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබා දීමේ “බසයෙන් අනාගතයට” දෙවැනි අදියර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    ඒ අනුව දිස්ත්‍රික්ක 20ක පුස්තකාල පහසුකම් නොමැති පාසල් 20ක් සඳහා මෙලෙස බස්රථ පුස්තකාල ලබා දීම සිදුවිය. “බසයෙන් අනාගතයට” පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය දා ක්‍රියාත්මක විය. එදින දිස්ත්‍රික්ක 5ක තෝරාගත් පාසල් 5ක් සඳහා බස් රථ පුස්තකාල ප්‍රදානය කෙරිණි.

    අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්ක 20ක තෝරාගත් පාසල් 20කට මෙසේ බස් රථ පුස්තකාල බෙදා දීමත් සමඟ දිස්ත්‍රික්ක 25ට මෙම සංකල්පය යටතේ බස් රථ පුස්තකාල පිරිනමා තිබීම විශේෂත්වයකි.

    කියවීම ඉතා වැදගත් දෙයක්. එමගින් දරුවන්ට සමාජ, ආර්ථික, දේශපාලනික දැනුම ලබාගන්න පුලුවන්, මෙමඟින් දරුවන්ට පොත් කියවීම හුරුවීම සඳහා යම් පෙලඹවීමක් සිදුවෙනවා. අපි අදට ගැලපෙන පොත් පත් සහ අන්තර්ජාල පහසුකම් මීට සමඟාමීව ලබා දෙනවා යැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙහි දී පැවසීය.

    අපි බලයට පැමිණීමට පෙර සිදුවුණේ භාවිතයට ගත නොහැකි බස් රථ යකඩවලට කපලා කෑලී වලට විකුණන එක. පසුගිය රජය එවැනි බස් රථ මුහුදට දැම්මා. ලංගම සේවකයින් එයට කැමැත්තක් දැක්වුයේ නැහැ. මෙම ව්‍යාපෘතිය මගින් ධාවනයෙන් ඉවත් කරන බස් රථය අංග සම්පුර්ණ පුස්තකාලයක් බවට පත් වෙනවා. කිසිදු ලෙසකින් හෝ පුස්තකාල පහසුකමක් නැති පාසල්වලට අප මෙම බස් රථ ලබා දෙනවා. ඊට නොමිලේ අන්තර්ජාල පහසුකම් ඇතුළත් වෙනවා. තවත් බස් රථ 34ක් දැනට මේ ආකාරයෙන්ම සකස් කරමින් තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

    බස් රථ පුස්තකාල හිමිවන පාසල්වල විදුහල්පතිවරුන්ට, ආචාර්යවරුන්ට සහ දරුවන්ට සංකේතාත්මකව බස් රථ පුස්තකාල පිරිනැමු අග්‍රාමාත්‍යතුමා මෙලෙස ප්‍රතිනිර්මාණය කළ පාසල් පුස්තකාල බස් රථයක පීත්ත පටිය කපා විවෘත කර එහි නිමාව හා පොත් පත් සහ පහසුකම් පරික්ෂාවට ලක් කළේය.

    ප්‍රවාහන අමාත්‍යාංශයේ මූලිකත්වය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, එස්.එල්.ටී මොබිටෙල් හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය මනුසත් දෙරණ සමඟ එක්ව “බසයෙන් අනාගතයට” වැඩසටහන ක්‍රියාවට නංවයි.

    මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පළාත් ආණ්ඩුකාරවරුන්වන ටිකිරි කොබ්බෑකඩුව, අනුරාධා යහම්පත්, රාජා කොල්ලුරේ, රොෂාන් ගුණතිලක, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ජාතික පුස්තකාල මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පුස්තකාල බස් රථ හිමි වූ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා පාසල් සිසුන් පිරිසක් එක්ව සිටියහ.

    Latest News