පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්න; ජනපති (වීඩියෝ)

මාර් 13, 2021
  • පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත්කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අදාළ පාර්ශව වෙත උපදෙස් දී තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමඟ ඊයේ සවස පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය. රටේ ජාතිකත්වයට, දේශීයත්වයට හා ආරක්‍ෂාවට මුල්තැන දෙමින් පක්‍ෂයේ ප්‍රතිපත්ති හා ජනතා පොරොන්දු ඉටු කරමින් පසුගිය මාස 15ක කාලය තුළ තීරණ ගත් බව, ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

    පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව දින 28ක් තුළ කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතා, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් ද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මහත්වරු ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සභාපති කාංචන ජයරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 13 මාර්තු 2021 15:47

    Latest News