"මිහිඳු නිවහන" නිවාස ව්‍යාපෘතිය අනුර‍ාධපුරයේදී....

මාර් 28, 2021

    සම්බුද්ධ ශාසනයට දරුවන් පූජා කළ දෙමාපියන්ට උපහාර පිණිස ඉදි කෙරෙන "මිහිඳු නිවහන" නිවාස ව්‍යාපෘතියේ අනුරාධපුර දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන ඊයේ පැවැත්විණ.

    ඒ, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති රාජමහා විහාරස්ථානයේදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ ග්‍රාමීය නිවාස හා ගොඩනැගිලි කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. නිවාස වැඩසටහන ආරම්භ කරමින් අනුරාධපුර, සාලියපුර බුද්ධංනේගම ප්‍රදේශයේ ඉදිවෙන නව නිවසට මුල්ගල තැබීම මෙහිදී සිදු කෙරිණ.

    එය සිදු කෙරෙන්නේ, පුජ්‍ය බුද්ධංනේගම අස්සජී ස්වාමීන් වහන්සේගේ දෙමාපියන් වෙනුවෙන්. මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා නිවාස දෙදහසක් ඉදි කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේගේ දෙමාපියන් 70 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය සිදු කෙරිණ.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද, මිරිසවැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක, ජේතවනාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය හල්මිල්ලෑවේ රතනපාල, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද යන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය උත්සවයට වැඩම කර සිටියහ.

    Latest News