සඳහිරු සෑයේ හතරැස් ‍කොටුවෙහි නිදන් වස්තු තැන්පත් කෙරේ

මාර් 28, 2021

    අනුරාධපුර සඳහිරු සෑයේ හතරැස් ‍කොටුවෙහි නිදන් වස්තු තැන්පත් කිරීම අද සිදු කෙරිණ.

    ඒ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. දශක තුනක් පුරා පැවති යුද්ධය අවසන් කොට එහි ජයග්‍රහණය සනිටුහන් කිරීමේ අරමුනින් එවකට ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ අදහසකට අනුව සඳහිරු සෑය ඉදිකිරීම ආරම්භ කෙරිණ.

    ඒ, 2010 වසරේ නොවැම්බර් 22 වැනිදිනයි. ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරෙන මෙම මහා පුණ්‍යකර්මය සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ එවකට ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමායි.

    තිස් වසරක යුද්ධයේදී මියගිය රණවිරුවන් සිහිකිරීම පිණිස ඉදි කෙරෙන මෙම මහා දාගැබ අඩි 281ක උසකින් යුක්තයි. එය දෙවැනි වන්නේ ඓතිහාසික රුවන්වැලි මහසෑයට පමණි. වසර 1600කට පසුව දිවයිනේ ඉදි කෙරෙන විශාලතම දාගැබ මෙය වන අතර, නවීන තාක්‍ෂණයෙන් මෙරට සිදු කෙරෙන විශාලතම චෛත්‍ය කර්මාන්තය ද මෙය වේ.

    වසර 30ක යුද්ධ‍යේ කේන්ද්‍රස්ථානයක් ලෙස අනුරාධපුරය සැලකේ. එම නිසා මෙම මහා ස්ථූපය අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම් කළේය. සඳහිරුසෑයේ හතරැස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාවට ජනතා නියෝජිතයින්, ආරක්‍ෂක අංශ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

    Latest News