බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි හෙට ඇරඹේ

මාර් 28, 2021

    2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් සියලුම ශ්‍රේණි හෙට (29) ආරම්භ කෙරේ.

    සෞඛ්‍ය නීති-රීතිවලට අනුගතව පාසල්වල කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. පාසල් පිහිටි යම් ප්‍රදේශයක් හුදෙකලා කළහොත් අදාළ කාලසීමාව ඉකුත්වන තුරු එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට පියවර ගැනේ. සෞඛ්‍ය ආරක්‍ෂිත ස්ථානයක් ලෙස ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීමට පසුගිය සතියේ දින තුනක් වෙන්කර තිබිණ.

    නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම්වල යොදවමින් පාසල් ආරම්භ කළ වහාම විභාග කටයුතු සහ තරග සඳහා දරුවන් යොමු කිරීම යෝග්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පුද්ගල දුරස්ථභාවය ආරක්‍ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද පාසල් වෙත යොමු ව තිබේ.

    ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුවේ. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතුය. සිසුන් 30ට වැඩි පන්ති කණ්ඩායම් තුනකට බෙදා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇත. පාසල් ආරම්භ වීමත් සමඟ සෞඛ්‍ය නීති-රීති තදින් ක්‍රියාත්මක කරන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසලට කැඳවීම සම්බන්ධයෙන් එම චක්‍රලේඛයට අනුව සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුය. ඒ අනුව, සමස්ත දිවයිනේම පළමු වාරය සඳහා පාසල් අධ්‍යයන කටයුතු අප්‍රේල් මස 09 වැනි දින අවසන් වන අතර, දෙවැනි වාරය සඳහා නැවත පාසල් ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් මස 19 වැනි දිනයි.

    Latest News