පාස්කු; කඩු 6000ක් ආනයනය ගැන පරීක්‍ෂණ ඇරඹේ

මාර් 31, 2021

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

    පරීක්‍ෂණ විධිමත් කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත්, විශේෂ පොලිස් කණ්ඩායම් 2ක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් යොදවා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනුකළ රීට් පෙත්සම අද කැඳවනු ලැබීය.

    ඒ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය මේ බව දැනුම් දුන්නාය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මයාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි. මේ බව තහවුරු කෙරෙන පොලිස්පතිවරයාගේ ලිපියක් ද ඇය අධිකරණයට ඉදිරිපත් කළාය.

    ඒ අනුව පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද-නැද්ද යන කාරණය පිළිබඳව පෙත්සම්කරුගෙන් විමසා, මැයි 6 වැනිදා අධිකරණය දැනුවත් කරන ලෙස, අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාට දැනුම් දෙනු ලැබීය.

    Latest News