යුරෝපා පාර්. ශ්‍රී ලංකාව ගැන සම්මත කරගත් යෝජනාවට රජයේ අප්‍රසාදය

ජූනි 15, 2021

    යුරෝපා පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළිබඳව රජය කනස්සල්ල පළ කරයි.

    ප්‍රතිසංධාන හා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති බහු විධ ප්‍රගතිය ගැන යුරෝපා සංගමය කිසිදු සැලකිල්ලක් දක්වා නැති බව, රජය පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාවේ තත්වය හා විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් යන මාතෘකාව යටතේ යුරෝපා පාර්ලිමේන්තුව මේ මස 10 වැනිදා යෝජනාවක් සම්මත කර ගත්තේය.

    යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන ජී.එස්.පී ප්ලස් බදු සහනයට බලපෑමක් එල්ල කිරීම එහි අවසන් අපේක්‍ෂාවයි.

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ වැඩබලන තානාපති තෝර්ස්ටන් බාර්ග්ෆෙඩ් සහ ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවල තානාපතිවරුන් සමඟ ද ඊයේ සාකච්ජා පැවැත්විය.

    විදේශ අමාත්‍යවරයා, රජය වෙනුවෙන් මෙහිදී පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යොදා ගෙන ඇත්තේ, ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවන්ට විසඳුම් සෙවීම සඳහා බවයි.

    2019 පාස්කු ප්‍රහාරයේදී යුරෝපා ජාතිකයන් කිහිප දෙනෙකු මියගිය බව ද, අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

    වගවීමේ සහ ප්‍රතිසංධාන ක්‍රියාවලියෙහි අඛණ්ඩ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව, මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

    මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සඳහා රජය දක්වන කැපවීම වර්තමාන ඉලක්කගත වැඩසටහන් වන ජනගහනය එන්නත් කිරීම, සෞඛ්‍ය ආරක්‍ෂාව හා ආර්ථික පුනර්ජීවනය යන අංශ සමඟ සමපාත වන බවද, විදේශ අමාත්‍යවරයා තානාපතිවරුන්ට දැනුම් දුන්නේය.

    ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන ක්‍රියාවලිය අන්තර් ජාතික කම්කරු ප්‍රමිතීන් හා සෞඛ්‍ය මෙන්ම, ආරක්‍ෂක රෙගුලාසි අනුවද, ක්‍රියාත්මක බව, මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

    මේ තීරණාත්මක කාලසීමාවේ දී පෙන්වන ලද ප්‍රගතිය නිසි පරිදි අවබෝධ කර ගනිමින් සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට ශ්‍රී ලංකාවට අන්තර් ජාතික සහයෝගය හිමිවිය යුතු බව ද, විදේශ අමාත්‍යවරයා තානාපතිවරුන්ට දැනුම් දුනේය.

    අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය හා විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මේ හමුවට එක්වූහ.

    Latest News