අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කෙරේ

අගෝ 31, 2021

    අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රකාශයට පත්කර තිබේ. මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි, එය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ.

    පාරිභෝගික ජනතාවට අපහසුතාවයට පත්කරන,වෙළෙඳපොළ අක්‍රමිකතා වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණයි. වී,සහල්,සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැගවීම්,පාරිභෝගිකයන්ගෙන් අධික මිල ගණන් අය කිරීම වැනිදේ, වැළැක්වීමට අපේක්ෂා කෙරේ.

    රජයේ සහතික මිලට හෝ රේගුවේ දී ආනයනය කළ මිල ගණන් පදනම් කර ගෙන වී,සහල්,සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිල දී ගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට බලයලත් නිලධාරීන්ට කටයුතු කිරීමට මෙමගින් හැකි වෙයි.

    රාජ්‍ය බැංකුවලින් තොග මිල දී ගැනීමට ලබාදී ඇති ණය, ණය ලබා ගත් අයගෙන් අයකර ගැනීමට හැකි වන පරිදිත්, මෙය ක්‍රියාත්මක කර තිබේ.

    මේ අතර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ වී,සහල්,සීනි ඇතුළු අනිකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මහතා පත්කර තිබේ.

    Latest News