"මැණිකේ මගේ හිතේ" යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 අද (11) ඉක්මවයි...(වීඩියෝ)

සැප් 11, 2021
  • යොහානි ද සිල්වා ගායනා කළ "මැණිකේ මගේ හිතේ" ගීතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 අද ඉක්මවා ගියා.

    ඇකියුරේට් වෙබ් අඩවිය පවසන්නේ, ශ්‍රී ලාංකික ගීතයක් යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය බවයි. එම වෙබ් අඩවිය සඳහන් කළේ, ලොව අන්තර් ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන්ම හුවමාරු වූ ගීත 50 අතරේ ඉහළ ස්ථානයක් හිමිකර ගැනීමට "මැණිකේ මගේ හිතේ" ගීතය සමත්ව ඇති බවයි.

    මේ අතර ඉන්දීය ඇපල් සංගීත ලැයිස්තුවේ ප්‍රථම ගීත 100 අතරේ 8 වැනි ස්ථානය හිමිව ඇත්තේ, "මැණිකේ මගේ හිතේ" ගීතයටයි. ශ්‍රී ලංකා ඇපල් සංගීත ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ද එම ගීතයට හැකිවුණා. ගීතයේ ජනප්‍රියතාව නිසාම, යොහානි ද සිල්වා ගායිකාවගේ යූ ටියුබ් නාලිකාවේ සබ්ක්‍රයිබ්ස් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ගොස් තිබෙනවා.

    යූ ටියුබ් නාලිකාවක සබ්ක්‍රයිබ්ස් මිලියන 2 ඉක්මවූ ප්‍රථම ගායකයා හෝ ගායිකාව වන්නේ ද යොහානි ද සිල්වායි. ඇකියුරේට් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, ඉදිරි සති කිහිපය තුළ මෙරට වැඩිම යූ ටියුබ් සබ්ක්‍රයිබ්ස් ප්‍රමාණයක් හිමි නාලිකාව බවට යොහානි ද සිල්වාගේ යූ ටියුබ් නාලිකාව පත්වනු ඇති බවයි.

    "මැණිකේ මගේ හිතේ" ගීතය වැඩි වශයෙන් ජනප්‍රිය වුණේ, ඉන්දීය සමාජය තුළයි. ප්‍රමුඛ පෙළේ ඉන්දීය නළු නිළියන්, ගායක ගායිකාවන් පවා මෙම ගීතය ඇගයීමට ලක්කර තිබුණා. ඇකියුරේට් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, මේ වනවිට මෙම ගීතය බංග්ලාදේශය, මාලදිවයින, නේපාලනය සහ මැද පෙරදිග රටවල්වල ද ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවයි.

    මේ වනවිටත් ටික් ටොක් වැනි සමාජ මාධ්‍ය තුළ "මැණිකේ මගේ හිතේ" ගීතයට ඉහළ පිළිගැනීමක් ලැබී තිබෙනවා. කවර් සෝන්ග් එකක් ලෙස නිෂ්පාදනය කෙරුණු මෙම ගීතයට දායක වූ අනෙක් පිරිස වන්නේ චමත් සංගීත්, සතිෂාන් රත්නායක සහ දුනාන් ඒ. ආර්. එක්ස් යන තරුණ සංගීතඥයින් පිරිසක්.

    Last modified on සෙනසුරාදා, 11 සැප්තැම්බර් 2021 21:39

    Latest News