පසුගිය දේ, අහිමිවූ දේ, නොහැකි වූ දේ ගැන මතකය

මාර් 16, 2019

    රටේ ආර්ථික නිදහසක් ඇති නොවීමට ප්‍රධානම හේතුව අධ්‍යාපන අර්ථාන්විත වෙනසක් ඇති නොවීම බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    2015 දී ජනතාව විශ්වාස කළ බැවින් එයට සවන් දිය යුතු බව ඔහු තවදුරටත් කියා සිටියේය. අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ඊයේ (15) යාපනය යූනියන් පාසලේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි.

    2017 වර්ෂයේදී මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලද අතර, ඒ සඳහා මිලියන 55ක මුදලක් රජය විසින් වැය කරනු ලැබිණ.

    අමාත්‍ය රවී කරුණානායක "ඕනෑම රටකට නරක කාලයක් උදා වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවත් නරක කාලයක් පසුකළා. අපි සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම එකට එකතුවී මේ රටේ සැබෑ නිදහසක්, සැබෑ ආර්ථික නිදහසක් උදාකරලීම වෙනුවෙන් වැඩකල යුතු කාලය දැන් එළඹිලා. දැන් අපි පසුගිය දේ, අපට අහිමිවූ දේ, කිරීමට නොහැකි වූ දේ අමතක කරලා, දැන් අපි රට ගැන සිතිය යුතුයි. මේ වනවිට අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් රටේ අනාගතය, ජනතාවගේ සුභසිද්ධීය වෙනුවෙන් නව දේශපාලන සංස්කෘතියක් හදුන්වාදී තිබෙනවා ජනතාවගේත්, රටේත් සුබසිද්ධිය වෙනුවෙන්" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානාක මහතා,"මම 2016 වසරේ අවසන් වරට මෙම පාසලට එද්දි මේ පාසල තිබුණ තත්ත්වයෙන්, අද වෙනවිට විශාල දියුණූවක් ලබලා තිබෙනවා. දිවයිනේ ප්‍රධාන පාසල් වල තිබෙන තත්ත්වයට වඩා මෙම පාසලේ ගුණාත්මකභාවය වඩාත් දියුණු වී ඇති බවට මම කියන්න කැමතියි. අපට දරුවෙකුට ලබාදිය හැකි වඩාත් වටිනාම දේ වන්නේ අධ්‍යාපනයයි. කිසිම කෙනෙක්ට සොරකම්කළ නොහැකි, බලෙන් ගන්න බැරි එකම දේ අධ්‍යාපනයයි. මේ පාසලට වසර 203 ක ඉතිහාසයක් තිබෙනවා. මෙම පාසල දිවයිනේ විශිෂ්ටම පාසල බවට පත්කිරීමට කටයුතු කළයුතුයි.

    මේ රටට මේ වනවිට සාමය උදාවෙලා තිබෙනවා. සමහර විට ඔබ හිතනවා ඇති සාමයක් නැහැ කියලා. ජනතාවගේ ජිවන මට්ටම වගේම මානසික තත්ත්වයත් වඩාත් යහපත් වෙලා තිබෙනවා. සාමාකාමී බවට පත්වෙලා තිබෙනවා. මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ, ජනතාවගේ අධ්‍යාපනික මට්ටම දියුණු වීමයි. මේක තමයි වෙනස. අපේ රට නිදහස ලබා වසර 71 ක් වුවත්, මේ දක්වා මේ රටට සැබෑ ආර්ථික නිදහසක් ලැබිලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව නම් අපේ අධ්‍යාපන ක්‍රමයේ අර්ථාන්විත වෙනසක් ඇති නොවීමයි. අපගේ අසල්වැසි රටවල් වන සිංගප්පූරුව, තායිලන්තය, මලයාසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් දෙස බලනවිට පෙනී යන්නේ, එම රටවල වඩාත් වේගවත්මෙන්ම අර්ථවත් ආර්ථික දියුණුවක් ඇතිවී ඇති බවයි.

     

     

     

     

    Last modified on සෙනසුරාදා, 16 මාර්තු 2019 13:51

    Latest News