ජාතික රූපවාහිනිය තනි පුද්ගල රයිගම් සම්මාන රැසකට පාත්‍රවේ

මාර් 24, 2019

    15 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේදී, සම්මාන රැසකින් පිදුම් ලැබීමට ජාතික රූපවාහිනිය මෙවරද සමත්විය.

    තනි පුද්ගල වැඩිම සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියුවේද, ජාතික රූපවාහිනියයි. නෙළුම් පොකුණ රඟහල භූමියේ ඊයේ රාත්‍රීයේ දී සම්මාන උළෙල පැවැත්විණ. හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූවාය. විශිෂ්ට රූපවාහිනී මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන ශිල්පීන්ගේ හා මාධ්‍ය ආයතනවල දායකත්වය ඇගයීම රයිගම් ටෙලි සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ විය.

    2018 වසරේ විකාශය වූ ටෙලි නාට්‍ය හා වැඩසටහන් වෙනුවෙන් සම්මාන පිරිනැමිණ. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන ලෙස සම්මාන දිනාගත්තේ උදාන්ත කමල් ගුණතිලක නිෂ්පාදනය කළ මුතුහර වැඩසටහන් මාලාවේ “නෙළුම් විල“ වැඩසටහනටයි.

    මාලතී වීරසිංහ නිෂ්පාදනය කළ “සෙල්ෆි“ වැඩසටහන වසරේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන ලෙස සම්මාන දිනාගත්තේය. වසරේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන ලෙස සම්මාන දිනාගත්තේ ජයමිණි ඉලේපෙරුම අධ්‍යක්‍ෂණය කළ “සියපතක ගමනාන්තය“ වැඩසටහනයි. වසරේ විශිෂ්ටතම දමිළ ප්‍රවෘත්ති නිවේදිකා කේ.සාම්භාවි. නේත්‍රා නාලිකාවේ ප්‍රනීතා කෝනේෂ්වරම් දමිළ අංශයේ වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රෙව්ශක ලෙස සම්මාන දිනාගත් අතර, ඉංග්‍රීසි අංශයේ වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රෙව්ශක සම්මානය හිමිවුණේ චැනල් අයි සම්ප්‍රවේශක ෆාතිමා ශරීෆා තාහිර්හටයි.

    ජාතික රූපවාහිනියේ විකාශය වූ බැද්දට සඳ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් තෙරුණි ආසන්සා වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය හිමිකර ගත්තේය. තිසර ඉඹුලාන අධ්‍යක්‍ෂණය කළ “මීකූඩුව“ වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යයයි. රොෂාන් රවීන්ද්‍ර වසරේ විශිෂ්ටතම නළුවා ලෙසත්, චාන්දනී සෙනෙවිරත්න වසරේ විශිෂ්ටතම නිළිය ලෙසත් සම්මානයට පාත්‍රවූහ. රවීන් කණිෂ්ක ජනප්‍රියතම නළුවා සෙලත්, නයනතාරා වික්‍රමාරච්චි ජනප්‍රියතම නිළිය ලෙසත් සම්මාන හිමිකරගත්තේය.

    ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට සංස්කරණ ශිල්පී රවින්ද්‍ර ගුරුගේ සහ ප්‍රවීණ රංගන ශිල්පී හේමසිරි ලියනගේ රයිගම් ගෞරව ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබීය. ජිවිතයේ එක් වතාවක් පමණක් හිමිවන ප්‍රතිභා-ප්‍රභා සම්මානය හෙළ සිනමාවේ ප්‍රවීණ රංගවේදිනි ශ්‍රීයානි අමරසේන මහත්මියට හිමිවූවාය. සම්මාන උළෙල සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වූ අතර කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on ඉරිදා, 24 මාර්තු 2019 17:16

    Latest News