මේ එවැනි පිරිසක්. කලුගඟ ඔවුන්ගේ ජිවිතය හා සමානයි. කලු ගං ජලයට හිරු එළිය වැටෙත්ම, ඔවුන් ජිවිකාව සඳහා පිටත්ව යනවා. එතැන් පටන් පැය 5ක්, 6ක් ජල පතුලේ කිමි දෙන්නේ, තම ජීවනෝපාය උදෙසායි. මේ බෝට්ටුව පිරෙන තුරුම දිගු වේලාවක් වැලි කණින්නේ බොහෝ වරක් ජලයේ ඉහළ පහළ යමින්. හිතේ සහ ගතේ ශක්තිය තිබෙනතුරු රැකියාවේ නිරතවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.
“හැමදාම කැනීම් කරනකොට වළවල් මතුවෙනවා, වඩදිය ගලනවා, වැලි බෝට්ටු දෙකක් වගේ දවසට හාරනවා. වැලි හාරන කොට කන් දෙක තමයි රිදෙන්නේ. කන් දෙකයි ඔලුවයි, සෙමට.
අපි ගඟේ වැඩ කරලා ගොඩට ආවට පස්සේ කෑම කන්න බැහැ, අත් දෙක නමන්න බැහැ. ඇඟිලි ගල්වෙලා තියෙන්නේ යකඩ බාල්දියට. ගෙදර ගිහිල්ලා පවුල තමයි බත් ටික කවන්නේ. අත් ඔක්කොම රිදෙනවා. උරහිස්, කකුල්, ඔක්කොම කැක්කුමයි“ යැයි ඔවුන් කියා සිටියා.
කෙතරම් දුෂ්කරවුවද, ඔවුන් මෙම රැකියාවේ නිරත වන්නේ, දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට කිසියම් මුදලක් උපයා ගැනීමටයි. එම මුදලින් ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කෙරෙනවා. ගතේ සවි ශක්තිය ඇතත්, උත්සාහ නොකර කුමක් හෝ ලැබෙන තුරු බලා සිටින පිරිසට මේ මිනිසුන්ගේ ජිවිතවලින් කුමන හෝ ආදර්ශයක් ලබාගත හැකි නොවන්නේද?