11 දෙනෙකු අතුරුදන් කළ සිද්ධියේ 2කට ඇප

ජූනි 14, 2019

    2008-2009 වසරවල දී 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කළ නාවික හමුදාවේ නිලධාරියකු වන එන්. හෙට්ටිහැන්නදි සහ ධීවර ව්‍යපාරික බෝට්ටු හිමිකරුවකු වන ඇන්ටන් ප්‍රනාන්දු යන අය ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද 14 නියෝග කළේය.

    මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණය විසින් ඇප නියම කරනු ලැබූ සැකකරුවන් දෙදෙනාට ඇප කොන්දේසි කියවා දීමෙන් අනතුරුවයි. රුපියල් එක්ලක්ෂ පනස් දහසක් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට නියෝග කෙරුණු අතර, සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස ද නියෝග කරනු ලැබීය. සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9ත් 12ත් අතර පොලිස් සමූහ මංකොල්ල හා මිනිමැරුම් අංශයේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් වෙත නියෝග කළේය.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ ඇතුලු සැකකරුවන් පස් දෙනා ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මොවුන් දෙදෙනා ඇතුලු ඇප මත නිදහස් කර සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක ඇතුලු සැකකරුවන් සම්බන්ධ නඩුව ලබන ජූලි 03 වැනි දින යළි කැදවීමට නියමිතයි.

    Latest News