මොහොමඩ් මිල්හාන් වව්නතිව් පොලිස් නිලධාරී ඝාතනයේ ප්‍රධාන සැකකරු

ජූනි 14, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබලයෙකු වන මොහොමඩ් මිල්හාන් ඇතුළු සැකකරුවන් පස් දෙනා අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.

    ඔවුන් අත් අඩංගුවට ගැණුනේ ඩුබායිහිදී. ඒ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා...

    “අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව එම ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබලම සාමාජිකයන් 5ක් මැද පෙරදිග රටකට ගොස් එහි සැඟව සිටියදී ඒ පිළිබඳ තොරතුරු සොයාගෙන අත්අඩංගුවට ගැනිමට හැකිවෙලා තියෙනවා. එහි ප්‍රධානතම පුද්ගලයා මොහොමඩ් සහරාන් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ ඉතාම සමීපතමයෙක් 2018 නොවැම්බර් වව්නතිව්හි මාර්ග බාධක රාජකාරියක නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා කපා කොටා ඝාතනයට ලක්වුණා. ඒ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරු වන්නේ මේ පුද්ගලයා.

    ඒ අනුව මේ සැකකරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ජෙඩා සිට අද අලුයම 4.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන පැමිණියා. මේ වනවිට මොවුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් ඔවුන් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 77ක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයේත්, තවත් සැකකරුවන් 25ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය බාරයේ රඳවා තබාගෙන මේ වෙද්දි ප්‍රශ්න කරනවා. සැකකරුවන් පිළිබඳව විධිමත් පරීක්‍ෂණ සිදු කෙරෙන බව“ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Latest News