‘‘මහජන දිනය දා ජනතා ගැටලු විසඳනු හැර වෙනත් රාජකාරි එපා’’ - අමාත්‍ය අකිල

ජූලි 02, 2019

    අධ්‍යාපනයට අදාළ විවිධ ගැටලු විසඳා ගැනීමේ අරමුණින් මහජන දිනය දා, (බදාදා) අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරදීම සඳහා ම කැප වී කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    මහජන දිනය දා නිවාඩු ලබා නොගෙන ජනතාව වෙනුවෙන් රාජකාරියට වාර්තා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතා ගැටලු විසඳීම හැර එදින වෙනත් රැස්වීම් සාකච්ඡා යනාදී කටයුතු යොදා නොගත යුතු බවට නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ. අමාත්‍යවරයා එම උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

    සිය දෛනික කටයුතු නවතා දුර බැහැර සිට ඇතැම් විට රුපියල් දහස් ගණනක් වියදම් කර ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ජනතාවට එදිනම නිවැරැදි විසඳුම ලබා නොදී තවත් දිනකට කල් දැමීමෙන් ඔවුන් නොසතුටට පත්වන ආකාරය ද අමාත්‍යවරයා පැහැදිලි කර ඇත. 

    තම ගැටලු හා ප්‍රශ්න සඳහා නිවැරැදි විසඳුම හා උත්තර නොලැබීම නිසා සමහර අවස්ථාවලදී ජනතාව කෝපයට පත් වී ක්‍රියාකළ ආකාරය ද නිලධාරීන් ට සිහිපත් කර දුන් අමාත්‍යවරයා ජනතා අපේක්ෂා කඩ කිරීමෙන් ඔවුන් තුළ වෛර සහගත හැඟීම් ජනිතවන බැවින්, එවැනි අවස්ථා සඳහා ඉඩහසර ලබා නොදීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

    අන්තර්ජාල online ක්‍රමය භාවිතයෙන් පැය 24 ක අවම කාලයක් හා පැය 48 ක උපරිම කාලයක් තුළ විභාග සහතික තැපැල් මගින් නිවසට ම ලැබෙන්නට සැලැස්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව ආරම්භ කළ නව වැඩපිළිවෙළෙහි ප්‍රමුඛ අරමුණ ජනතාවට කඩිනමින් හා අඩු පිරිවැයකින් සේවා සැපයීම බව ද අමාත්‍යවරයා පැහැදිලි කළා. අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ජනතාව වෙනුවෙන් ද ඉදිරියේ දී මෙවැනිම කඩිනම් සේවයක් සලසාදීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අවධාරණය කළා.

    තමා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පත්ව ගත ව ඇති වසර පහකට ආසන්න කෙටි කාලයක් ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශයේ මින් පෙර කවර වකවානුවක හෝ ඉටු නොකළ සේවා රැසක් රට වෙනුවෙන් ඉටු කරදීමට හැකි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    “පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා පවතින තරගය ද ජනප්‍රිය පාසල් සංස්කෘතිය හා ටියුෂන් මාෆියාව ද අවම කිරීම සඳහා ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය ආරම්භ කළා. මහවැලි ව්‍යාපෘතියටත් වඩා වැදගත් ව්‍යාපෘතියක්. එය රටේ කොටසකට පමණක් නොව සමස්ත රටට ම ප්‍රතිලාභ ලැබෙන්නක්” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    “පාසල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විදුහල්පතිවරුනට රුපියල් කෝටිය බැගින් මුලින්ම ලබා දුන්නා. පසුව තවත් කෝටියක් දුන්නා. වැසිකිළි කැසිකිළි 40,000 ක් තනා දුන්නා ප්‍රමිතියට අනුව, සිසුන් 50 කට එක් වැසිකිළියක් තිබිය යුතු බැවින්, ඉදිරියේ දී ඒ ගැන ද අවධානය යොමු කළ යුතුයි. මා ඇමති පදවියට පත්වන විට පාසල් 3000 ක රසායනාගාර තිබුණේ නැහැ. ඒ සඳහා ජංගම රසායනාගාර ලබා දුන්නා. ඇතැම් පළාත් පාසල් රසායනාගාරවල රසායන ද්‍රව්‍ය පවා තිබුණේ නැහැ. අප එම අවශ්‍යතා ද ඉටු කර දුන්නා ”

    විද්‍යාපීඨ පුහුණුව සඳහා කණ්ඩායම් දෙකක් බඳවා ගෙන ගුරු හිඟය අවසන් කිරීමට ගෙන තිබූ තීරණය අවනීතික පාලනය පැවැති දින 51 දී ඇතැමුන් විසින් අත්තනෝමතිකව අත්හිටවනු ලැබීම හේතුවෙන් එම වැඩපිළිවෙළට බාධා ඇති වූ බව ආකාරය ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර දුන්නා.

    රටේ සෑම පාසල් දරුවෙකු ම රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් හිමිකර දෙමින් සුරක්ෂා රක්ෂණාවරණය ද මැනවින් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය

    Latest News