දින 365ම ක්‍රියාත්මක ගොවිජන සේවා දන්සලක් අනුරාධපුරයේ

ජූලි 02, 2019

    ශ්‍රී මහා බෝධිය අසළ දින 365ම ක්‍රියාත්මක දන්සලෙන් අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට දිවා ආහාරය ගත හැකි බව අමාත්‍ය පී. හැරිසන් මහතා සැදැහැවතුන්ට ආරාධනා කර සිටියි.

    ගොවීන් විසින් තම අස්වැන්නෙන් සකසා ගත් දානය අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පිරිනැමීමත්, මහා සංඝරත්නයට පිළිගැන්වීමත්, සැදැහැවතුන්ට දිවා ආහාරය පිරිනැමීමත් නොකඩවා ක්‍රියාත්මක වන බවත්, එහි අධීක්ෂණය ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන බවත් අමාත්‍යවරයා කීය.

    අතීතයේ රජ දවස රාජ මහාමාත්‍යාදීන් විසින් බැතිමතුන් හට දාන පිළිගැන්වූ මඟ යමින්, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැඳපුදා ගැනීමට අනුරාධපුර පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා දින 365 පුරාම මෙය ක්‍රියාත්මකය.

    අටමස්ථානය අවට නිසි පරිදි ආහාරපාන ලබා ගැනීමට පහසුකම් නොමැති වීම හේතුවෙන්, වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදු වේ. මීට පිළියමක් ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ඉල්ලීම පරිදි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම දන්සල ආරම්භ කෙරිණි.

    ශ්‍රී ලංකාවේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින්, වසරේ දින 365 ආවරණය වන පරිදි මෙම දන්සල ක්‍රියාත්මක කරන අතර, වන්දනාවේ පැමිණෙන සියලුම බැතිමතුන්ට සතියේ සෑම දිනකම දිවා ආහාරය මෙම දන්සල මඟින් ලබා ගැනීමේ පහසුකම හිමි වේ.

    මීට අමතරව බැතිමතුන්ගේ පහසුව පතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර පිවිසුම් මාර්ගය අසළ, කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන “බොජුන් හල” දේශීය ආහාර අලෙවි මධ්‍යස්ථානය, රුපියල් ලක්ෂ 300ක වියදමින් ඉදිකරන බව අමාත්‍යවරයා පවසා සිටී.

    දෛනිකව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිළධාරීන් සමඟ ඒ ඒ ප්‍රදේශවල ගොවි සංවිධාන විසින් දානමය කටයුතු පිළියෙල කරනු ලබයි. පළමු දිනයේ හොරොව්පතාන ගොවිජන සේවා මධ්‍යස්ථානය දිවා ආහාරය සකසා තිබිණ.

    ලංකාව පුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන 562ක් ක්‍රියාත්මක වන අතර, එහි ගොවි සංවිධාන විසින් ඉදිරියේදී මෙම කටයුතු පවත්වාගෙන යනු ලබයි. දන්සල විවෘත කිරිම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා, අනුරාධපුර දිස්ත්‍රික් අතිරේක ලේකම්වරයා, අනුරාධපුර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ බැතිමතුන් රැසක් ‍මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Latest News