“යහපත් සමාජයක් ගොඩනැඟීමේ කැපවීම අත් හරින්නෑ ” - ජනපති (වීඩියෝ)

ජූලි 22, 2019

    මතු පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැඟීමේ කැපවීම අත් නොහරින බව ජනපති අවධාරණය කරයි.

    රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප‍්‍රබලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට අද වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි. පසුගියදා නාවික හමුදාව මගින් මුහුදේ දී හෙරෝයින් කි.ග‍්‍රැම් 270ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේ දී එම කටයුතු මෙහෙයවා ඇත්තේ ද වැලිකඩ බන්ධනාගාරයේ සිට බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජනාධිපතිතුමා සඳහන් කළේ ඒ සම්බන්ධව විශේෂ පරික්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරන බවයි.

    අද (22) පෙරවරුවේ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා පාසලේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය. මෙහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් සමාජයක් ගොඩනැගීමේ දී ප‍්‍රමුඛ ඉලක්කය වන්නේ අධ්‍යාපනය බවයි. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් අද රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපන අයිතින් සුරක්ෂිත වී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා පසුගිය සිව් වසර තුළ විවිධ අභියෝග හමුවේ වුව ද නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරිමට විශේෂ වැඩකොටසක් ඉටුකළ බව ද සඳහන් කළේය.


    මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ අද දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම සමාජයේ වැරදිකරන පුද්ගලයන් තමාට විරුද්ධ වී ඇත්තේ තමන් වැරදිවලට විරුද්ධ නිසා බවයි. හොරකම, වංචාව සහ දූෂණය මෙන්ම රටේ සහ දරුවන්ගේ අනාගතය විනාශ කරන සියලූ ජාවාරම් මැඩලීමට තමන් දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙන බව පැවසු ජනාධිපතිතුමා සිසු දරුවන් අමතමින් වැඩිදුරටත් කියා සිටියේ තමාට කොයි තරම් නින්දා අපහාස සිදු කළ ද රටේ මතු පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට තමා තුළ ඇති කැපවීම කිසිසේත් අත් නොහරින බවයි.
    විද්‍යාලයේ ඉදිකළ නව “විජය මෛත්‍රී නා හිමි සමරු ගොඩනැගිල්ල” නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර සිසු දරුවන්ගේ ක්‍රියාකාරකම් ද නිරික්ෂණය කළේය.


    විද්‍යාලය වෙත ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද සිදු කෙරිණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අධ්‍යාපනවේදී පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමින් වහන්සේ මෙහිදී අනුශාසනාවක් සිදු කරමින් සඳහන් කළේ කුමන පාර්ශ්ව කුමන විවේචන එල්ල කළද අවංක සහ ඝෘජු නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද රට වෙනුවෙන් විශිෂ්ට කාර්යයක් ඉටු කරමින් සිටින බවයි. පෞද්ගලික දේශපාලන මතවලින් බැහැරව රට ගැන හැඟීමකින් යුතුව ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එක්වීම රටට ආදරය කරන සියලූදෙනාගේ වගකීම බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.


    අමාත්‍ය අර්ජුන රණතුංග, ලසන්ත අලගියවන්න, රුවන් රණතුංග, අජිත් බස්නායක, රංජිත් සෝමවංශ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් ද ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු නිලධාරින් ද විදුහල්පති දිනේෂ් සමරතුංග මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 22 ජූලි 2019 20:13

    Latest News