සහ්රාන් දැන ගත්තේ ජනවාරි 26: ‍තොරතුරු පොලිස්පතිට දුන්නා (වීඩියෝ)

ජූලි 24, 2019

    පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රථමයෙන් තොරතුරු වාර්තා වූයේ 2019 ජනවාරි 26 වැනිදා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අද (24) පැවසීය.

    ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාව ලිඛිතව දැනුම්වත් කළ බවත් ඔහු කියා සිටියේය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේය.

    මාවනැල්ලේ බුදුපිළිම කඩා දැමීම සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් හිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන භාර ගත් බව ඔහු පෙන්වා දුනී. එහි ප්‍රතිඵලයක් ලෙස පුත්තලම වනාතවිල්ලුවේ පොල්වත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත් බවත් නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පැවසියිය. සහරාන් සම්බන්ධයෙන් වු වැඩිදුර විමර්ශනවලදී ජනවාරි 26 වැනි දා තොරතුරු අනාවරණය වූ බව කියා සිටියේය.

    ඒ සම්බන්ධයෙන් 26 වැනිදාම පොලිස්පතිවරයාට දැනුම් දුන් බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහරාන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගිය බව ද සඳහන් කළේය.

    Last modified on බදාදා, 24 ජූලි 2019 20:10

    Latest News