1990 සුවසැරියට වසර 3යි (වීඩියෝ)

ජූලි 27, 2019

    1990 සුවසැරිය ගිලන් රථ සේවය අද සිය තුන්වන උපන්දිනය සමරයි.

    අභියෝග මැදින් පැමිණි ගමන තුළ සුවසැරිය සේවාවෙන් දෙලක්ෂ දාහත් දහසක් රෝහල් ගත කර තිබේ. ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවය විප්ලවීය මාවතකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවය අද (27) සිය තුන්වන උපන්දිනය සමරනු ලැබීය. එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී එම උත්සවය පැවැත්විණි.

    මෙම අවස්ථාවට සුවසැරිය ගිලන් රථයක ඉපදුණු මුල්ම දරුවා වූ මාතර තෙලිජ්ජවිල ජී.පී. යසිරු නෙල්ෂාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ද සහභාගී වූ අතර යසිරුගේ තුන්වන උපන් දිනය මෙහිදී උත්කර්ශවත් අයුරින් සැමරීමද කැපී පෙනුණි.

    මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ගතවූ වසර තුනක කාලය තුළදී සුවසැරිය මගින් පුද්ගලයින් දෙලක්ෂ දාහත් දාහක් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙන බවයි.

    “මෙම ගණන සාමාන්‍ය අගයක් විදිහට බැලුවොත් මේ වසර 03 තුළ සෑම දිනයකම අපි පුද්ගලයින් 198 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙනවා. ඉදිරියේදී මෙම ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවේවි. 1990 සුවසැරිය තමයි මේ වනවිට ශ්‍රී ලංකාවේ තිබෙන වඩාත්ම කාර්යක්ෂම රාජ්‍ය සේවාව. ලංකාවේ කොහේ හිටියත් අපි රෝගියෙකු වෙත විනාඩි 11 යි තත්පර 53 කින් ඇවිල්ලා තිබෙනවා. මේ වේගය මාර්ග අපහසුතා අඩු නාගරික ප්‍රදේශවල මීටත් වඩා වැඩියි.”

    “එදා මෙම සේවාව ආරම්භ කරන කොට අපි විශාල අභියෝගවලට මුහුණ දුන්නා. එම අභියෝග ජයගනිමින් අපි පැමිණි මාවත දෙස බලන විට මා අතිශය සතුටු වෙනවා. සුවසැරිය කියන්නේ පොදු මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සේවාවක්. එදා සල්ලි තිබෙන අයට පමණයි ගිලන් රථයකින් ගිහින් රෝහලකට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ. අද ලංකාවේ ඕනම කෙනෙකුට එම අවස්ථාව තිබෙනවා.”

    මෙමගින් ජනතාවට උපරිම සේවාවක් ලැබෙන පරිදි මෙය ක්‍රියාත්මක කරන සුවසැරිය කාර්ය මණ්ඩලයේ සියළුම දෙනාට මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විශේෂ ස්තූතියක් පුද කළේය.

    1990 සුවසැරිය ගිලන් රථ සේවය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක්

    • ලැබුණු ඇමතුම් ප්‍රමාණය - 1,209,299
    • ගිලන් රථයක් රෝගියෙකු වෙත ගිය අවස්ථා ගණන - 240,801
    • රෝහල් ගතකළ රෝගීන් ප්‍රමාණය - 217,338
    • රෝගියෙකු වෙත යෑමට ගතවූ සාමාන්‍යය කාලය - විනාඩි 11යි තත්පර 53යි.
    • 2016 ජූලි මාසයේදී මෙම සේවාව දකුණ සහ බස්නාහිර පළාත් වලින් මුල් වරට ආරම්භ කළ අතර පසුව සෙසු පළාත් වලද ආරම්භ කරමින් මේ වනවිට සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කර ඇත.
    • මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ගිලන් රථ 297 ක් ක්‍රියාත්මක වේ.
    • මෙම ගිලන් රථ තුළ දරු උපත් 89 ක් මේ වනවිට සිදුව ඇත.
    • ඉන්දියානු රජය විසින් ලබාදුන් යළි නොගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 22.5 ක ප්‍රදානයක් මගින් ආරම්භ කළ මෙම සේවාව
    මේ වනවිට ශ්‍රී ලංකා රජයට පූර්ණ අනුබද්ධ සේවාවක් ලෙස ක්‍රියාත්මක වේ.
    • 2018 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් සුවසැරිය පදනම ආරම්භ කර මෙම සේවාවේ මෙහෙයුම් කටයුතු මේ වනවිට සුවසැරිය පදනමට පවරා තිබෙන අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.
    • මෙරට තරුණ දරුවන් 1,428 ක් සඳහා සුවසැරිය පදනම යටතේ රැකියා අවස්ථා ලබාදී ඇත.

    Latest News