12වන ක්‍රිකට් ලෝක කුසලානය හා ශ්‍රී ලංකාව

ජූනි 21, 2019

    ICC ක්‍රිකට් ලෝක කුසලානය 12 වන වරට එංගලන්තයේ හා වේල්ස්හි මේ දිනවල පැවැත්වේ.

    මේ වන විට තරගවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 10ක් ලබා ගත් ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි. ඒ තරග 6ක් ක්‍රීඩා කර 5ක් ජයගෙන ඇති ඔවුන් ඉන්දියාවට එරෙහිව එක් තරගයක් පමණක් පරාජය වී ඇත. බොහෝ ක්‍රීඩා විචාරකයන් පැවසූ ආකාරට අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇතැයි සැලකු කණ්ඩායම් 4 මේ වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ. ඒ පිලිවෙළින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය හා ඉන්දියාවයි. ඒ අතර මෙවර ලෝක කුසලානයේ කැපීපෙනෙන දක්ෂතා දක්වමින් ප්‍රභල කණ්ඩායම්වලට අභියෝග කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත්ව සිටියි. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන එංගලන්තය අතර ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවේ. ඒ අනුව ඉන්දියාව ශක්තිමත් ලෙසින් තම ස්ථාවරයේ රැඳීසිටිමට සමත්ව ඇත. නමුත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිව් වන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව මීට පෙර පැවති ලෝක කුසලානවලදී මෙන්ම අවසනාවන්ත කණ්ඩායම බවට පත්ව ඇත. ඒ තරග 6කින් 1 තරගයක් පමණක් ජය ගැනීම හේතුවෙනි.

    icc 01

    2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 27 වන තරගය ලෙස ශ්‍රී ලංකාව හා එංගලන්තය අද(21) එංගලන්තයේ ලීඩ්ස්හි හෙඩින්ග්ලි ක්‍රීඩාගණයේ දී තරගවදී. මෙවර ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන්නේ යම් අස්ථාවර බවකිනි. ශ්‍රී ලංකාව, ලෝක කුසලාන තරගාවලිය, ICC චැම්පියන් කුසලානය සහ විස්සයි විස්ස යන සියලුම තරගාවලි වලදී ශූරතාවයන් දිනා සිටින කණ්ඩායමකි. 1996 ලෝක ශූරතාවෙයෙන් පසු චැම්පියන් ට්‍රොෆි තරගාවලියේ 2002 දී ඉන්දියාව සමග සම-ශූරයන් වීමටත් හා T20 තරගාවලියේ 2014 දී ශූරතාව දිනා ගැනීමට සමත් වීමෙනි. මීට අමතරව ක්‍රිකට් ලෝක කුසලානයේ දී තවත් අවස්ථා 2කදී හා T20 තරගාවලියේ අවස්ථා 2කදී අවසන් වටයට පැමිණ අනුශූරයන් වී තිබේ.

    icc 02

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම ගැන හිටපු පුහුණුකරු බ්‍රිතාන්‍ය ජාතික පෝල් ෆාබ්‍රේස් (Paul Farbrace) මහතා පසුගිය දා බීබීසී සිංහල වෙබ් අඩවිය සමග අදහස් දක්වා ඇත. ශ්‍රී ලංකාව බොහෝ ප්‍රියකරන තැනැත්තෙක් වන ඔහු මෑත ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම වසර වන 2014 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය දැරුවේය. ඔහු යටතේ විස්සයි විස්ස ලෝක කුසලානය සහ ආසියානු කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

    පෝල් ෆාබ්‍රේස් මහතා පවසන්නේ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ට ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මෙන් ම මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයන්ගේ හිඩැස් පිරවීම ඒ වෙනුවෙන් ආදේශ කරන ක්‍රීඩකයන්ට ඇති ලොකු අභියෝගයක් බවයි. ඒ සඳහා ඔවුන්ට නිසි කාලයක් ලබා දිය යුතු බව පෝල් ෆාබ්‍රේස්ගේ මතයයි. විශේෂයෙන් ම නිතර වෙනස් වන තේරීම් කමිටු සහ ස්ථාවර කණඩායමක් නොමැති වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබැස්මට හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි. ක්‍රීඩකයන්ට හා කණ්ඩායමකට ස්ථාවර වීම සඳහා යම් කාලයක් ලබා දිය යුතු බව පවසන ඔහු, නිතර ක්‍රීඩකයන් වෙනස් වීමේ තත්ත්වයන් ක්‍රීඩා කණ්ඩායම් අසාර්ථක වීමට හේතු වන බව කියා සිටියේය.

    පසුගිය කාලවකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නිතර වෙනස් කිරීම ගැන දැඩි කතාබහක් ඇති වූ අතර 2015 ලෝක කුසලානයේ සිට 2019 ලෝක කුසලානය දක්වා වැඩි ම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට යොදා ගෙන තිබෙන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඇතැම් ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබී තිබුණේ එක් තරගයක් වීමත් විශේෂත්වයකි.

    ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ව්‍යුහයේ යම් ස්ථාවර වෙනසක් කිරීම ගැන සිතා බැලිය යුතු බව පෝල් ෆාබ්‍රේස් පවසයි. විශේෂයෙන් ම කණ්ඩායම් 4ක් හෝ 5ක් ඇති ස්ථිර පළාත් ක්‍රිකට් ව්‍යුහයක් ඒ සඳහා ඇති කළ හැකි බව ඔහු යෝජනා කරයි.

    "මම ශ්‍රී ලංකාවට එන කොට කණ්ඩායම් 10ක හොඳ ප්‍රිමියර් තරගාවලියක් තිබුණා. අපි පළාත් තරඟත් ක්‍රීඩා කළා ඇතැම් අවස්ථාවල. ඒවා ඉතා හොඳ තරගාවලි. මම හිතනවා ඒක වෙන්න ඕන ඉදිරියට යන මග," ඔහු කියා සිටියේය.

    ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ව්‍යුහය ඉතා වැදගත් බව පවසන ඔහු, ක්‍රීඩා සමාජ ව්‍යුහය පවත්වාගෙන යමින් ඉතා හොඳ පළාත් තරග ව්‍යුහයක් දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමට හොඳ ආයෝජනයක් වනු ඇති බව පවසයි.

    "පාසලෙන්, ක්‍රීඩා සමාජයට, එතනින් පළාත් කණ්ඩායමට එතනින් ජාත්‍යන්තර තලයට මේක වෙන්න පුළුවන් සැලැස්ම" ෆාබ්‍රේස් කියා සිටියේය.

    ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සාධනීය ක්‍රිකට් ක්‍රීඩා රටාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත යොමුවිය යුතු බව පෝල් ෆාබ්‍රේස් කියා සිටියි. ශ්‍රී ලංකාව ලෝකයේ අවධානය දිනා ගත්තේ ශ්‍රී ලංකාවට ම උරුම වූ සාධනීය ක්‍රීඩා රටාව නිසා බව පෙන්වා දුන් ඔහු එය පවත්වාගෙන යාමට වත්මන් ක්‍රීඩකයන් ද කටයුතු කළ යුතු බව පවසයි. ශ්‍රී ලංකාව උපායශීලී ලෙස ක්‍රිකට් ක්‍රීඩා කළ රටක් බව පැවසූ ඔහු ශ්‍රී ලංකාවට ලෝකය ම ආදරය කළේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රටාව නිසා බවත් පැවසීය.

    ශ්‍රී ලංකා ලෝක කුසලාන පිතිකරණ ලැයිස්තුවේ යම් වෙනස්කම් සිදුකළ යුතුය යන්න තම අදහස බව පෝල් ෆාබ්‍රේස් පවසයි. ඇන්ජෙලෝ මැතිව්ස් පිතිකරණ ලැයිස්තුවේ අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ යුතු බව ඔහු පවසයි. අංක 5 සහ 6 ස්ථානයේ ඔහු ක්‍රීඩා කිරීමට වඩා අංක 4 ස්ථානයේ ක්‍රීඩා කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජෙලෝ මැතිව්ස්ගෙන් වැඩි දායකත්වයක් ලබා ගත හැකි බව පවසන ඔහු, ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස නොව එංගලන්තය ජෝස් බට්ලර් භාවිත කරන ආකාරයට පන්දු වාර 25න් පසු පැමිණ වේගයෙන් පන්දුවට පහර දීමට යොදා ගැනීම සුදුසු බවත් බීබීසී සිංහල සේවය සමග පැවසීය. දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න සාර්ථක ආරම්භයක් ලබා දුනහොත් කුසල් ජනිත් ඇතුළු ක්‍රීඩකයන්ට හොඳ ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකාව රැගෙන යා හැකි බව ඔහු පවසයි. 

    icc 03

    මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර බීබීසී සිංහල සේවය සමග කෙටි සංවාදයකට එක්වෙමින් පැවසුවේ, ඉදිරි තරග ජයගැනීමට නම් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට පැමිණිය යුතු බවය.

    "ලෝක කුසලානයකදී පිතිකරුවන් අඩුම ගානේ ලකුණු 280ක් වත් ගහන්න ඕන. අපේ පන්දු යවන්නට අවස්ථාව ලබාදෙන්න. පිතිකරුවන් ඒ වගකීම භාරගන්න ඕන," කුමාර් සංගක්කාර පවසයි.

    ක්‍රීඩාංගනයෙන් ක්‍රීඩාංගනයට, තණතීරුවෙන් තණතීරුවට කණ්ඩායමේ යම් වෙනස්කම් කිරීමට අවශ්‍ය වුවත් සමස්තයක් ලෙස "ලොකු වෙනසක්" කිරීමට අවශ්‍ය නැති බව ද කුමාර් සංගක්කාර සඳහන් කළේය.

    මෙවර 2019 ලෝක කුසලානයේ විශේෂිත ලක්ෂණයක් වන්නේ එහි මුල් වටය ලීග් ක්‍රමයට ක්‍රීඩා කිරීමයි. ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 10ම අනිකුත් සෑම කණ්ඩායමක් සමගම තරගවැදිය යුතුයි. ඒ අනුව මූලික වටයේ තරග 45ක් පැවැත්වේ. අවසන් පූර්ව වටය සඳහා ලකුණු සටහනේ වැඩිම ලකුනු ලබාගත් කණ්ඩායම් 4 සුදුසුකම් ලබයි. ජූලි 9 සහ 11 දිනවල අවසන් පූර්ව තරග 2ක පැවැත්වීමට නියමිතව ඇති අතර අවසන් මහා තරගය ජූලි 14 පැවැත්වේ.

    Latest News