සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායක මිකායල් මියයයි

අගෝ 31, 2022

    සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායල් ගොර්බචෝව් ‍මියගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91 ක්. ගෝලීය දේශපාලන විචාරකයන් පවසන්නේ, ඔහුගේ මරණය, යුගයක අවසානය සනිටුහන් කිරීමක් බවයි.

    ඉකුත් කාලය පුරා ගොර්බචෝව් රෝගාබාධ රැසකින් පීඩාවට විදි බවත්, ඔහු මියගියේ රෝහල් ගතව සිටියදී බවත්, රුසියානු මාධ්‍ය වාර්තා කරයි. සෝවියට් නායක ගොර්බචෝව් ගේ අභාවය, සැලවූ විගස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.

    මිකායල් ගොර්බචෝව්, බලයට පැමිණියේ 1985 වසරේදී. සෝවියට් දේශය සහ බටහිර රටවල් අතර සබඳතා යහපත් තත්වයකට ගෙන ඒමට ක්‍රියා කළ නායකයෙකු ලෙස ද මොහු සැලකේ. 

    සෝවියට් සමූහාණ්ඩුව බිදවැටීමට වසරකට පෙර 1990 දී මිකායල් ගොර්බචෝව්ට නොබෙල් සාම ත්‍යාගය ද හිමි විය. ඒ, විරසක පසෙකලා සෝවියට් සමූහාණ්ඩුව සහ බටහිර රටවල් අතර යහපත් සබඳතා පවත්වා‍ ගෙන යාමට ප්‍රමුඛත්වය ගත් බැවින්.

    කෙසේ වුවද, 1991 වසරේදී  සෝවිට් සමූහාණ්ඩුව කැඩී වෙන්වීම වලක්වා ගැනීමට ගොර්බචෝව්ට හැකි වූයේ නැහැ.

    මේ නිසා, ඇතැම් රුසියානුවන් චෝදනා කරන්නේ, සෝවියට් සමූහාණ්ඩුව කැබලිවලට වෙන් වූයේ, මිකායල් ගොර්බචෝව් ගේ ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්ති නිසා බවයි.

    Last modified on බදාදා, 31 අගෝස්තු 2022 10:08

    Latest News