කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 09යි

මැයි 05, 2020

    ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 9 වැනි කොවිඩ් 19 මරණය අද වාර්තාවිය.

    දේහය පිළිබඳ ආදාහන කටයුතු කොටිකාවත්ත ආදාහනාගාරයේ දී අද රාත්‍රී සිදු කිරීමට නියමිතයි. මේ අතර රෝගය වැළඳී සුවය ලැබූ 213 දෙනෙකු අද වනවිට රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද දින පමණක් රෝහල්වලින් නිම්ක ගිය සංඛ්‍යාව 19 දෙනෙකු බව වසංගත රෝග විද්‍යායතනය පවසයි. එය මෙතෙක් දිනකදී සුවය ලබා පිටව ගිය වැඩිම සංඛ්‍යාවයි.

    මියගිය රෝගියා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක කාන්තාවක්. එම කාන්තාවට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරිණ. අනතුරුව සිදු කරන ලද පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත්තේ, ඇයට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවයි. අනතුරුව ඇය කොළඹ ජාතික රෝහලේ සිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යැවිණ. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම කාන්තාව මරණයට පත්වූවාය.

    අද දින මරණයට පත්වූ රෝගියා පදිංචිව සිටියේ මෝදර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක වන අතර, ඇය සමීපව ඇසුරු කළ 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. ඒ ඔවුන්ගේ ජෛව පටල සාම්පල ලබා ගැනීමෙන් අනතුරුවයි. අදාළ රෝගියා වෙසෙන නිවාස සංකීර්ණයේ එක් කොටසක් 1043 දෙනෙකු සමඟ හුදකලා කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණු මහතා පවසයි. ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගනු ලබන පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පල හෙට ලබාගැනීමට නියමිතයි.

    ඊයේ රෝගීන් 33 දෙනෙකු හඳුනා ගැණින. ඔවුන්ගෙන් 31 දෙනෙකුම ආරක්‍ෂක හමුදා සාමාජිකයින්. එම පුද්ගලයින් තම නිවාඩුවට නිවෙස් වෙත ගොස් සිටි අයයි. ආරක්‍ෂක හමුදා සෙබලෙකුගේ මවකට ද රෝගය ආසාදනය වී තිබේ. තවත් ආරක්‍ෂක හමුදා සාමාජිකයෙකුගේ පවුලේ 13 වියැති දැරියකට ද කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව ඊයේ තහවුරු විය.

    වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහල තුල නිරෝධායනයට යොමු කර සිටි 46 දෙනෙකු සිය නිරෝධායන කාලසීමාව අවසන් කර නිවෙස් වෙත පිටව ගියේය. ඔවුන් කොළඹ ග්‍රෑන්ඩ්පාස්, ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත ප්‍රදේශවල සහ වැලිසර රෝහලේ සනීපාරක්‍ෂක කටයුතුවල යෙදී සිටි පිරිසක්. ඔවුන් එම රෝහලේ ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්‍ෂකය විසින් අධිකරණය කරනු ලබන 11 සහ 12 යන වාට්ටුවල නිරෝධායනයට යොමුකර සිටියේය.

    තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර හා කොණ්ඩා කපන ස්ථාන ආදිය සෞඛ්‍ය ආරක්‍සිත ක්‍රමවේදයන්ට අනුකූලව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් දුන්නාය. ඒ ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකින් අනතුරුවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ, කොණ්ඩා කැපීම වැනි සේවා පමණක් ඒවායින් ලබාදීමට පියවර ගතයුතු බවයි. පිළිපැදිය යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශනයක් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගියෙකු ඊයේ වාර්තා වීමත් සමඟ ඔහු සමීපව ඇසුරු කළ 29 දෙනෙකු අද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරිණ. එම ප්‍රදේශය ද විෂබීජානුහරණයට ලක් කර තිබේ. කොවිඩ්-19 රෝගය වැළඳුණු බවට තහවුරු වූ පුද්ගලයා ස්වයං නිරෝධායනයට යොමු කළ සිටි අයෙකු බව සෞඛ්‍ය අංශ පවසයි.

    කොළොන්නාව ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගියෙකු හමුවීමත් සමඟ ඔහු සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ. ඒ අනුව 29 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය යෙත යොමු කළ බව වාර්තාවේ.

    හුදෙකලා කර පැවති බුලන්කුලම පහළගම ගම්මානය අද සිට යළි යථා තත්වයට පත් කෙරිණ. එම ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණේ පසුගිය 25 වැනිදා සිට. එදින කොවිඩ්-19 රෝගය වැළඳුණු පුද්ගලයෙකු හඳුනා ගැනීමෙන් පසු ගම්මානයේ පවුල් 315ක් සමඟ එම ප්‍රදේශය හුදෙකලා කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.

    කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් ඉදි කෙරේ. එහි ඉදිකිරීම් සිදු කරන්නේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවයි.

    මේ අතර, බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 39 දෙනෙකු සිය නිරෝධායන කාලසීමාව අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගියේය. ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ තවදුරටත් රැඳී සිටින පිරිස 49ක්. බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ හැට දෙදෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී.

    කොළඹ මහ නගර සභාව විසින් නියැදියක් ලෙස සාමාන්‍ය ජනතාවගේ, ආරක්‍ෂක නිලධාරීන්ගේ සහ නගර සභා සේවකයින්ගේ ජෛව පටල සාම්පල සහ රුධිර සාම්පල පරීක්‍ෂා කරනු ලැබීමමේ දිනවල සිදු කෙරේ. ඒ අනුව, කොළඹ 06, වේලුවනාරාම මාවත ප්‍රදේශවාසීන්ගේ පරීක්‍ෂණ අද සිදු කෙරිණ. සිය දෙනෙකුගේ ජෛව පටල සාම්පල හා 60 දෙනෙකුගේ රුධිර පටල සාම්පල ඒ අතර වේ.

    Latest News