රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක වැඩසටහන අරලියගහ මන්දිරයේදී

මැයි 06, 2020

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක වැඩසටහන අරලියගහ මන්දිරයේ දී අද පැවැත්විණ.

    බුද්ධ වර්ෂ 2564 වෙසක් සැමරුම් උත්සවයේ තේමාව “ආරෝග්‍ය පරමා ලාභා-සන්තුට්ඨි පරමං ධනං“ යන්නයි.

    උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී මිනිසාගේ මානසික හා කායික රෝගාබාධ සුවපත් කිරීමට බෞද්ධ භික්‍ෂුව දක්වන දායකත්වය පිළිබිඹු කරන පරිදි රුපියල් 10, 15, 45 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර හතරක් සහ මුල් දින කවර දෙකක් නිකුත් කෙරිණ. 2564 වැනි රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජමහා විහාරයේ බිතු සිතුවමක් නිරූපණය වන පරිදි එක් සමරු මුද්දරයක් නිකුත් කර තිබේ. අමාතය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම මුද්දර හා මුල් දින කවර මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබීය.

    අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට මුද්දර හා ලිපි කවර පිළිගැන්විණ. ඓතිහාසික ඔලබොඩුව, ශ්‍රී ජයවර්ධනාරාම රාජමහා විහාරාධිපති පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික ස්වාමින් වහන්සේට ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය ගෞරව නාමය සහිත බස්නාහිර පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය පිරිනැමීමට අදාල සන්නස් පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පිළිගැන්විණ. එම විහාරස්ථානයට අයත් විහාර භූමිය පූජා භුමියක් ලෙස නම් කිරීම ද මෙහිදී සිදු කෙරිණ. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය මාතලේ ධම්මකුසල, අමරපුර නිකායේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර යන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News