වට ප්‍රමාණය අනුව පොල් අලෙවිය ගැන වෙළෙඳුන් දැනුවත් කෙරේ

සැප් 27, 2020

    වට ප්‍රමාණය අනුව පොල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් දැනුවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අද කටයුතු කළේය.

    පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 70කට යටත් කරමින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ. එම ගැසට් නිවේදනය අනුව, වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල, රුපියල් 70ක්. වට ප්‍රමාණය අඟල් 12ත්, 13ත්, අතර පොල් ගෙඩියක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ හැක.

    මට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60 කට අලෙවි කළ හැක. ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් දෙමටගොඩ පොදු වෙළෙඳපොළට පැමිණියේ පොල් මනින උපකරණ ද සමඟයි. පාලන මිලට පොල් අලෙවි නොකළ වෙළෙඳුන්ව නව නීති පිළිබඳව දැනුවත් කළේය. නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පොල් වෙළෙඳුන් ද දැනුවත් කෙරිණ.

    මේ අතර, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සාමාජිකයන් ද පොල් මිල සොයා බැලීම සඳහා නාරහේන්පිට සති පොළ භූමියට පැමිණියේය. වට ප්‍රමාණය අනුව පොල් මිල තීරණය කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය ගත් තීරණය ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබිණ.

    Latest News