කොවිඩ්-19; මාධ්‍ය ආචාර ධර්මවලට අනුකූලව කළ යුතුයි

ඔක් 11, 2020

    කොවිඩ් රෝගීන් පිලිබඳ වාර්තා කිරීමේ දී මාධ්‍ය ආචාර ධර්මවලට අනුකූලව සිදු කළ යුතු බව විද්වතුන් අවධාරණය කරයි.

    පසුගිය දිනවල කොරෝනා වෛරස් ආසාදිතයින් පිළිබඳ ඇතැම් මාධ්‍ය සිය වාර්තාකරණය කළ ආකාරය පිලිබඳ අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

    මෙහි ආසන්නතම සිදුවීම වූයේ ඊයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂිකාවක් කොරෝනා ආසාදිතයෙකු වීමේ සිදුවීමයි. මෙම සිද්ධිය හුදෙක් අපරාධකරුවෙකු රැගෙන යන ආකාරයට ඇතැම් මාධ්‍ය වාර්තා කළේය.

    එම සිසුවියගේ දර්ශන ප්‍රධාන පුවත් සිරස්තලවල ද වාර්තා කළේය. කොවිඩ් යනු රෝගයක් මිස කිසිවෙකු උවමනාවෙන් කළ වරදක් නොවන බව අප සියල්ලෝම පිලිගත යුතු සත්‍යයක්.

    කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු රෝහලට රැගෙන යාම ඔහුගේ හෝ ඇයගේ නිරෝගීභාවය සහ සමාජයේ පැතිරයාම වැළැක්වීමට කරන පියවරක්, රෝගියා හඳුනාගත් ස්ථානය, මාධ්‍ය මගින් දැනුවත් කිරීම එය පැතිරයාම වැළැක්වීමට සමාජය දැනුවත් කිරීමක්.

    එහෙත් රෝගියා රෝහලට රැගෙන යාම ගිලන් රථයට නංවන තුරු පසුපස කැමරාව හඹායාම කිසිසේත්ම සදාචාරාත්මක නොවන බව ඇතැම් මාධ්‍යයට නොවැටහීම කණගාටුදායකයි.

    මාධ්‍යයන්ගේ මෙම වාර්තාකරණය පිලිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළ ද බෙහෙවින් විවේචනයට ලක්ව තිබිණ. ජාතික රූපවාහිනී පුවත් වාර්තාකරණය සැමවිටම ගෙන දෙන්නේ ආදර්ශයක්.

    මේ මොහොතේත් මාධ්‍ය සදාචාරය රකිමින් අපි සියල්ලන්ටම පෙරමඟ සපයමින් සිටි. ජාතික රූපවාහිනිය කවදත් හුදු ජනප්‍රියතාව උදෙසා ජනතාව අපහසුතාවට ලක්වන ආකාරයේ පුවත් වාර්තා කර නැහැ. ඒ අප සතු ජනතා වගකීම මනාව වටහාගෙන සිටින නිසයි.

    සියලු තොරතුරු අප වාර්තා කළ අතර, මින් ඉදිරියටත් ජනප්‍රියත්වය නොව ජාතික වගකීම වෙනුවෙන් පෙනී සිටීමට අප සූදානම්. හුදෙක් තරඟකාරිත්වයෙන් මිදී මෙවන් අවස්ථාවක තම මාධ්‍ය වගකීම නිසි ලෙස ඉටුකරන ලෙස අප ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.

    Latest News