2017 විශේෂ ගැසට් පත්‍රයකින් රාජකාරී රැසක් එක්කළා; එම්. ආර්. ලතීෆ්

ඔක් 11, 2020

    ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට ස්ථාපිත කෙරූ විශේෂ කාර්‍ය බලකායට 2017 වසරේදී විශේෂ ගැසට් පත්‍රයකින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් මෙන්ම නීති විරෝධී පස් කැපීම්, ගල් හා වැලි ප්‍රවාහනයන් සෙවීම් ඇතුළු රාජකාරි රැසක් එක්කළ බව එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ එම්. ආර්. ලතීෆ් මහතා පවසනවා.

    පාස්කු ජනාධිපති කොමිසමේ සාක්ෂි දෙම්න් ඔහු වැඩිදුරටත් පැවසුවේ එවැනි රාජකාරිවලට ප්‍රමුඛතාවක් දීමට සිදු වූ නිසා නැගෙනහිර හිස ඔසවමින් තිබූ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ අවධානය යොමු කිරීමට නොහැකි වූ බවයි.

    පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරියා ලෙස සිට මේ වනවිට විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා සාක්ෂි ලබාදීම සදහා ඊයේ ජනාධිපති කොමිසම වෙත පැමිණියේ තුන්වන දිනටයි.

    ලතීෆ් මහතාගෙන් මීට පෙර දින කළ සාක්ෂි විමසීම අවසානයේ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සදහන් කළේ එදින ඔහු සාක්ෂි ලබාදුන් ආකාරය පිළිබද සලකා බලා ඔහුට කොමිසම් සභා පණතේ 16 වන වගන්තිය යටතේ නොතීසි නිකුත් කිරීමට නියම කරන බවයි.

    ඒ අනුව මින් ඉදිරියට ලතීෆ් මහතාගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසන අවස්ථාවේ නීතිඥවරයෙකු සමග කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති කොමිසම ලතීෆ් මහතාට දැනුම් දුන් අතර ඊයේ පස්වරුවේ ඔහු කොමිසමට පැමිණියේ නීතිඥ සහාය ද ඇතිවයි.

    එහිදී සාක්ෂි විමසීම අරඹමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසුවේ ජනාධිපති කොමිසම මීට පෙර දන්වා ඇති ආකාරයට 2017 මාර්තු 18 සහ 2017 මාර්තු 24 යන දිනවලට අදාළ පොලිස් විශේෂ කාර්‍යය බලකා බුද්ධි අංශයේ වාර්තා කොමිසමට ඉදිරිපත් නොකිරීමට හේතුව කුමක්ද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින් ලතීෆ් මහතා පැවසුවේ 2017 ජූලී මාසයෙන් පසු වාර්තා කිහිපයක් පමණක් කොමිසමට ඉදිරිපත් කළ බවයි.

    එහෙත් එම කිසිදු වාර්තාවක 2017 මාර්තු 10 කාත්තන්කුඩි අලියාර් මංසන්ධියේ ගැටුම සම්බන්ධයෙන් සඳහන් නොවෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කොමිසමට පෙන්වා දුන්නා.

    සහරාන් හෂීම් සම්බන්ධ අදාළ ගැටුමෙන් පසු එම වාර්තා කොමිසමට ඉදිරිපත් නොකෙරුවේ මන්දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේ ඊට සුවිශේෂී හේතුවක් නැති බවත් තමන් අපේක්ෂා කළේ 2019න් පසු වාර්තා පමණක් ඉදිරිපත් කරන්නයැයි ලතීෆ් මහතා සඳහන් කළා.

    එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා අවධාරණයෙන් යුතුව සාක්ෂිකරුගෙන් විමසුවේ "ඔබට මතකද මෙම කොමිසම ඔබෙන් ඉල්ලුවේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් 2015 සිට STF බුද්ධි අංශ වාර්තා බව?" යන්නයි.

    එහිදී "මතකයි ස්වාමීනි" ලෙස එම්. ආර්. ලතීෆ් මහතා පිළිතුරු දුන්නා.

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " විශේෂ කාර්‍යය බලකාය ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වුණේ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම නේද ?"

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " එහෙමයි ස්වාමීනි "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ඒ කාලේ STF බුද්ධි අංශය ඉතා ශක්තිමත් ලෙස පිහිටවුවා නේද ?"

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " ඔව් කුඩා කණ්ඩායමක් පුහුණු කළා බුද්ධි තොරතුරු රැස්කරන්න."

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " බුද්ධි මෙහෙයුම් සඳහා විශේෂ පුහුණුවක් දුන්නා කිව්වොත් පිළිගන්නවාද ?"

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " ඔව් පිළිගන්නවා. 2006 දී ඉන්දීය බුද්ධි කණ්ඩායමක් තමයි ඒ විශේෂ පුහුණුව දුන්නේ "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ඒ අනුව නැගෙනහිර සතුව ඉතා ශක්තිමත්ව STF බුද්ධි අංශය තිබුණා නේද ?"

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " ඔව් ස්වාමීනි. යුධ හමුදාවට සාපේක්ෂව නැගෙනහිර ප්‍රබලව හිටියේ STF එක. 1980, 90 කාලයේ ඉදලම ඉතාම ශක්තිමත්ව නැගෙනහිර STF බුද්ධි අංශය ක්‍රියාත්මක වුණා. ඒ පළාතේ මුස්ලිම් ජනතාව ඉහළ සහයක් ඊට හිමිවුණා. "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ඔය වගේ වාතාවරණයක මුස්ලිම් ජනතාවගෙ සහයත් තිබිලා ඉස්ලාම් අන්තවාදය ගැන ඔබලාගෙ බුද්ධි අංශයට වාර්තා නොවුනේ ඇයි ?"

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " හුඟක් වෙලාවට අපිට වාර්තාවුණේ මුස්ලිම් ජන කොටස් අතර ගැටුම් තමයි. පශ්චාත් යුධ කාලයේ STF කාර්‍යභාරය වුණේ පොලිස් නිලධාරින්ට සහය වෙමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීම. නමුත් ස්වාමීනි 2017 අගෝස්තු 11 නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් STF එකට නියම කළා සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න."

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ඉන්පසු නැගෙනහිර ඉස්ලාම් අන්තවාදය ගැන හෙව්වේ නැත්ද ?"

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " නැහැ ස්වාමීනි "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ඇයි ඒ ? "

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " 2017න් පස්සේ ලැබුණු වගකීමට තමයි ප්‍රමුඛතාවක් දුන්නේ. නමුත් SIS එකෙන් අපිට විටින් විට කිව්වම LTTE සැකටයුතු ක්‍රියා සහ බෝම්බ වළදාපු තැන් ගැන අපි ඒවට සහාය ලබාදුන්නා. නමුත් මම බලාපොරොත්තු වුණා ඉස්ලාම් අන්තවාදය ගැන සොයන්න අපිවත් සම්බන්ධ කරගනී කියලා. ඊට අමතරව මීට පෙර සතිපතා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම්වලට STF අණදෙන නිලධාරියා හා STF බුද්ධි ප්‍රධානියා සහභාගී වුණාට පැවති රජයේ මම පත්වෙනකොට එම රැස්වීම්න් STF නි‍යෝජනය අවශ්‍ය නැහැ කියලා දන්වලා තිබුණා. අපිව කැඳෙව්ව නම් අපි අන්තවාදය ගැන අවධානය යොමු කරනවා. "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ඒ කියන්නේ STF එකේ ආරම්භක පරමාර්ථය වුණ 'ත්‍රස්තවාදය මැඩලීම' ඒ වෙද්දි වෙනස් වුණාද ?"

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " ඔව් ස්වාමීනි. අර අපිට පවරපු සංවිධානාත්මක අපරාධ මැඩලීමට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය, පොලිස් අපරාධ කොට්ඨාසය සහ ළමා හා කාන්තා කාර්‍ය්ංශයේ වැඩත් සම්බන්ධ කළා. ඉතින් 2018න් පස්සෙ අපිට ලැබුණු මේ අංශ ගැන තමයි අපි ප්‍රමුඛතාවක් දුන්නේ. පොලිසියේ කාර්‍යභාරය ප්‍රතිව්‍යූහගත කරනකොට අපිට තිබුණේ පොලිසියට සහය දෙන්න විතරයි. ඊට අමතරව ස්වාමීනි පරිසර දූෂණය පිළිබඳ හොයන්නත් ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ලිඛිත නියෝගයක් ලැබුණා. ඒ අනුව පස් කැපීම් හොයන්න සහ ගල් වැලි ප්‍රවාහනය ගැන හොයන්නත් ප්‍රමුඛතාවක් දුන්නා "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ඔබ අණදෙන නිලධාරියා ලෙස සිටි කාලය තුළ නැගෙනහිර STF කඳවුරුවල බුද්ධි අංශ නිලධාරින් ඉවත් කිරීමක් සිදු වුණාද ?"

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " ස්ථීර මාරු වීම් කළා. මම අණදෙන නිලධාරියා වුණාට පස්සේ අපේ නිලධාරින් රාජ්‍ය බුද්ධි සේවය ආහ යුධ හමුදා බුද්ධි අංශය වෙත යොමු කළා පුහුණුවක් සඳහා. මේ කාලය තුළ කඳවුරුවල නිලධාරින් 31 දෙනෙක් මාරුවුණා. ඒකෙන් 20ක් සේවා අවශ්‍යතා මත. තව 2ක් අයහපත් වාර්තා මත. 4 දෙනෙක් අභියාචනා මත සහ විනය කඩකිරීම නිසා 5 දෙනෙක් සේවයෙන් ඉවත් කළා."

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - " ඔබට පෙර කටයුතු කළ STF අණදෙන නිලධාරියා වූ රංජිත් පෙරේරා මහතා බුද්ධි නිලධාරින් 30 දෙනෙක් විවිධ කඳවුරු ගත කළා කියලා ඔබ දැනගෙන හිටියාද ?"

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " ඔව් ස්වාමීනි "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - " ඔවුන්වයි එම කටයුතුවලින් ඉවත් කරලා වෙන ඒවට දැම්මේ කිව්වොත් ඔබ මොකද කියන්නේ ?"

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " එහෙම කළානම් කළේ සේවා අවශ්‍යතා ආහ කලාප නිලධාරින්ගේ ඉල්ලීම මත ස්වාමීනි "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - " ඔබ කියන විදියට 2019.04.21 දක්වා STF බුද්ධි අංශය ප්‍රබලව ක්‍රියාත්මක වුණා නම් නැගෙනහිරින් ඇවිත් ඇයි බෝම්බ පිපිරිලා මෙච්වර විනාශයක් වුණේ ? "

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " ස්වාමීනි අපේ නැගෙනහිර කටයුතු කරනකොට මම කිව්වා ඒ ප්‍රදේශවල ජනතාව අපි සමඟ සමීපව කටයුතු කළා කියලා. කවුරුහරි නුපුරුදු වැඩක් කළත්, එහෙම කෙනෙක් කඩේකින් සීනි කිලෝ 5ක් ගත්තත් මුදලාලි අපිට කියනවා 'OIC මහත්තයා කෙනෙක් ඇවිත් මෙහෙම අරන් ගියා වෙනදට එහෙම නැ' කියලා. එතකොට ස්වාමීනි කෝ ඔය ප්‍රදේශවල තිබුණ ප්‍රජාව පදනම් කරගෙන හදපු පොලිසිය..? ඒ අය මොකද කළේ. හාඩ්වෙයාර්වලින් බයිසිකල් බෝල ලක්ෂ ගාණක් ගන්නකොට එක එක අම්ල වර්ග සල්ෆියුරික් එහෙම ලීටර් ගණන් ගන්නකොට ප්‍රජා පොලිසිය මොකද කළේ..? මම විශ්වාස කරන්නේ ඒ ගම්වල අයම තමයි ඔය පොලිසිවලට බඳව ගත්තේ. දුරින් ආවේ නැහැ. අප්‍රේල් 21 ප්‍රහාරය වෙනකල් SIS එක ඉස්ලාම් අන්තවාදය ගැන අපිට තොරතුරු දුන්නේ නැහැ. ඒ වගේම මේ ගැන හොයනවා කියලවත් අපෙන් තොරතුරු ඉල්ලුවෙත් නැහැ "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - " ඇයි SIS එක ඔබලාගෙන් තොරතුරු විමසුවේ නැත්තේ ?"

    එම්. ආර්. ලතීෆ් - හිටපු අණදෙන නිලධාරි - පොලිස් විශේෂ කාර්‍ය බලකාය - " ඒක මටත් ප්‍රහේලිකාවක් ස්වාමීනි "

    Latest News