ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්

ඔක් 11, 2020

    කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හමුවේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද සාර්ථකව පැවැත්විණ.

    ඒ, විශේෂ සෞඛ්‍යාරක්‍ෂිත වැඩපිළිවෙළක් යටතේ. අයදුම්කරුවන් තුන් ලක්‍ෂ 31,694 ක් විභාගයට පෙනී සිටියහ. කොවිඩ් ආසාදිත සහ නිරෝධායනයට යොමු කළ දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්.

    දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,936කදී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්විණ. කොවිඩ් අවදානම හේතුවෙන් ඇඳිරි නීතිය බල පැවැත්වෙන පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව විභාගය පැවැත්වීම සඳහා විශේෂ ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී තිබිණ.

    එහිදී විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳිරි නීතිය බලපැවැත්වෙන පොලිස් වසම් 18 තුළ විශේෂ විභාග මධ්‍යස්ථාන 11ක් ද, ක්‍රියාත්මක කෙරිණ. ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල දුම්රිය සහ බස් රථ නැවැත්වීමට අවස්ථාව හිමි නොවුණත්, අද විශේෂ දවසක් ලෙස සලකා එම ප්‍රදේශවල දුම්රිය සහ බස් රථ නැවැත්වීමට අවස්ථාව ලබාදී තිබිණ.

    ධාවනය වූ දුම්රියවල මැදිරි දෙකක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්‍ෂකයන් සඳහා වෙන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියා කළේය.

    විභාග මධ්‍යස්ථානයක එක් පන්ති කාමරයකට යොමු කෙරුණු ශිෂ්‍ය සංඛ්‍යාව 20ක්. මධ්‍යස්ථානවල ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් 7,000ක් පමණ යෙදවූ බව පොලිසිය පවසයි.

    උදෑසන 9.30ට ආරම්භ වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වුණේ, අද පස්වරු 12.15ටයි. මීට අමතරව නිරෝධායන වෙමින් සිටින සිසුන් සඳහා එම මධ්‍යස්ථානවල දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සළසා තිබිණ.

    විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටීමට නොහැකි වූ පිරිසට සියලු පහසුකම් සහිතව මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව විභාගයට පෙනී සිටීමට පසුබිම සකස් කර තිබීම ප්‍රශංසනීයයි.

    මෙසේ විභාගයට ශක්තිමත් ලෙස පෙනි සිටියේ, කොවිඩ්-19 රෝගයට ගොදුරුව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුන් පස් දෙනෙකුයි.

    වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 ආසාදිතයන්ගේ දරුවන් තිදෙනෙකු ද ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගත්තේය. ඒ අනුව සිය මව්පියන්ට වැඳ ආශිර්වාද ලබාගත් එම දරුවන් විශේෂ විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන ගියේ රෝහලේ ගිලන් රථයෙන්.

    මේ අතර, කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ ඉගෙනුම ලබන කවීෂ චතුරංග ශිෂ්‍යත්ව විභාගයට අද පෙනී සිටීමට ඉදිරිපත් වුණේ, තම මව පිළිකා රෝගයෙන් මියගොස් ඇති අවස්ථාවකයි.

    Last modified on ඉරිදා, 11 ඔක්තෝබර් 2020 17:56

    Latest News