හෙට (12) උසස් පෙළට සියල්ල සූදානම්

ඔක් 11, 2020

    හෙට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට සියල්ල සූදානම් බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විභාගයට මෙවර පැවැත්වෙන්නේ, විශේෂ සෞඛ්‍යාරක්‍ෂිත වැඩපිළිවෙළක් යටතේ. අපොස උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්‍ෂ 62,824 දෙනෙකු පෙනී සිටී. පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2,648ක්. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316ක් ද ක්‍රියාත්මකයි.

    විභාගයට පෙනී සිටීමේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය හෝ ඉදිරිපත් කළ හැකියි. විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, විභාගයට පැමිණිමට පෙර කල්වේලා ඇතිව ප්‍රවේශ පත්‍රය හොඳින් පරීක්‍ෂා කරන ලෙසයි.

    කොවිඩ් අවදානම හේතුවෙන් ඇඳිරි නීතිය පවනා ඇති පොලිස් බල ප්‍රදේශ සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබේ. ගනේමුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් විභාග මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලයේයි. යක්කල, ගම්පහ වීරගුල විශේෂ විභාග මධ්‍යස්ථානය වන්නේ, මිරිස්වත්ත කැප්පැටිපොළ මහා විද්‍යාලයයි.

    කිරිඳිවැල විශේෂ විභාග මධ්‍යස්ථානය ලෙස, කිරිඳිවැල මහා විද්‍යාලය නම් කර තිබේ. වැලිවේරිය, මල්වතුහිරිපිටිය විශේෂ විභාග මධ්‍යස්ථානය වන්නේ, වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලයයි. දොම්පෙ, පූගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා සියනෑ ජාතික පාසලේ විශේෂ විභාග මධ්‍යස්ථානයත් පැවැත්වේ.

    නිට්ටඹුව, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා උසස් පෙළ විශේෂ විභාග මධ්‍යස්ථානය වන්නේ නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයයි. මීරිගම, පල්ලේවෙල සඳහා කල්එළිය, සිරිවිද්‍යාකීර්ති කණිෂ්ඨ විද්‍යාලය විශේෂ විභාග මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනේ.

    මිනුවන්ගොඩ විශේෂ විභාග මධ්‍යස්ථානය වන්නේ, කොටුගොඩ රාහුල විද්‍යාලයයි. දිවුලපිටිය උසස් පෙළ විශේෂ විභාග මධ්‍යස්ථානය පැවැත්වෙන්නේ, දිවුලගහ, රණසිංහ මහා විද්‍යාලයේදී. සීදූව, මූකලන්ගමුව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ද ජා-ඇල සහ කඳාන වෙනුවෙන් දෙහියාගාත හෝලි රොසරි විද්‍යාලය නම් කර තිබේ.

    උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ලබාදී ඇති ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ජාතික රූපවාහිනිය, 5 ශිෂ්‍යත්වය සහ අපොස උසස් පෙළ සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඊයේ රාත්‍රියේ විකාශය කළේය. එහිදී විභාග සම්බන්ධයෙන් වූ ගැටලු සජීවිව යොමු කිරීමේ අවස්ථාව හිමිවිය.

    Latest News