මන්නාරම ගම්මාන 2ක් හුදෙකලා කළා; යුද හමුදාපති

ඔක් 11, 2020

    මන්නාරම ප්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කළ බව, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක මීරිගම සහ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදාළ කූරිකොටුව, මාලිගාතැන්න සහ එලුවාපිටිය යන ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් 07ක් ද හුදෙකලා කෙරිණ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය දින දෙකක් තුළ නිකුත් කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. කොවිඩ්-19 රෝගීන් 37 දෙනෙකු වාර්තාවීම හේතුවෙනුයි මාලිගාතැන්න, කූරිකොටුව සහ එළුවාපිටිය යන ප්‍රදේශවල ග්‍රාමසේවා වසම් 07ක් හුදෙකලා කෙරුණේ.

    කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍යාවකට කොවිඩ් 19 රෝගය වැළඳී තිබේ. ඇගේ පියා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන උඩුගම්පොළ ප්‍රදේශයේ සේවිකාවකගේ දියණියන් දෙදෙනෙකුට රෝගය වැළඳී තිබේ. ඔවුන් දෙදෙනාගේ ආශ්‍රිතයින් සහ ගල්ලෙගෙදර ප්‍රදේශයේ රෝගය වැළඳුණු දරුවන් දෙදෙනෙකුගේ ආශ්‍රිතයන් පීසීආර් පරීක්‍ෂණවලට ලක් කෙරිණ. ඊට පාසල් දරුවන් ඇතුළු 400කට අධික සංඛ්‍යාවක් ඇතුලත්.

    රෝහල් සායනවල ඇති අධික තදබදය හේතුවෙන් කොවිඩ්-19 රෝගය බෝවීමේ වැඩි අවදානමක් පවතී. ඊට පිළියමක් ලෙස ලබන අඟහරුවාදා සිට නිවෙස් වෙතම සායනික බෙහෙත් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

    ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන ප්‍රථමයෙන් ආරම්භ කර දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ගම්පහ පොලිස් බල ප්‍රදේශ 18කට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් පවතින අතර, නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    ඇඳිරි නීති පනවා ඇති ප්‍රදේශවල ඔසුසැල්, සතොස වැනි ස්ථාන ද විවෘතව පවතී. ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපහසුවකින් තොරව ලබාගැනීමට මින් අවස්ථාව සලසා දී තිබේ.

    Latest News