ශානී අබේසේකර ප්‍රමුඛ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යහපාලන සමයේදී රාජ්‍ය බුද්ධි අංශය අඩපණ වුණා; කනිෂ්ක ගුණරත්න

ඔක් 11, 2020

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යහපාලන ආණ්ඩු සමයේදී රාජ්‍ය බුද්ධි අංශය සම්පූර්ණයෙන් අඩපණවී බුද්ධි ක්‍රියාන්විත ඇණහිටි බව යුද හමුදා බුද්ධි අංශයේ බලලත් නිලධාරී කනිෂ්ක ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

    ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින්. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කල සී.අයි.ඩී ය ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරමින් තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කල බවට යුද හමුදා බුද්ධි අංශයේ බලලත් නිලධාරී කනිෂ්ක ගුණරත්න මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසමට පැමිණිලි කර තිබෙනවා .

    ඔහු සදහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩු සමයේදී සී.අයි.ඩී ය බුද්ධි අංශ නිලධාරීන් 300 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවයි. ඒ තුළින් රාජ්‍ය බුද්ධි අංශය ඇණහිටි බවත් අප්‍රේල් 21 ප්‍රහාරයට මග පෑදුණ බවත් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

    ඔහු පැවසුවේ ශානී අබේසේකර ප්‍රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙර සැලසුම් කර අසත්‍ය සාක්ෂි ලබා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන්ට දිගින් දිගටම කළ බලපෑමට ස්වභාවධර්මයෙන් වන්දි ගෙවිය යුතු බවයි.

    සී.අයි.ඩී යේ ශානි අබේසේකරට අමතරව පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තමන් අමතා ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබාදෙන්නැයි දිගින් දිගටම බලපෑම් කළ බව බලලත් නිලධාරී කණිෂ්ක ගුණරත්න මහතා සඳහන් කළා.

    ඔහු පැවසුවේ එම නිලධාරින් තමන් අමතා " නිකං බොරුවට අමාරු වැටෙන්න එපා . එක්නැලිගොඩ තමන් සමග කොළඹ සිට ගිරිතලේ යුද හමුදා කඳවුරට ගොස් පසුව අක්කරේපත්තුව ට රැගෙන ගිය බව කියන්න ,හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කර්නල් ෂම්මි කුමාරරත්න විසින් එක්නැලිගොඩ පැහැරගත් බව කියන්න " යනුවෙන් තමන්ට දැනුම් දුන් බවයි.

    සී.අයි.ඩී නිලධාරීන් ඔවුන් කළ වෙනත් නඩු කටයුතු සම්බන්ධව ද තමන්ට පවසමින් ඒ තුළින් තමාව බියගන්වා බොරු සාක්ෂි ලබා ගැනීමට තවත් අවස්ථාවක උත්සහ කල බව ගුණරත්න මහතා ප්‍රකාශ කලා.

    අසත්‍යය පැවසීමට නොහැකි බව සී.අයි.ඩි.යට දැනුම් දීමෙන් අනතුරුව උරණ වූ එම නිලධාරින් තමා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොකර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ 296 වගන්තියෙන් සඳහන් වන මිනීමැරුම් චෝදනා යටතේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර මාස 8කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව බලලත් නිලධාරී කණිෂ්ක ගුණරත්න මහතා සඳහන් කළා.

    ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් ද්වේශ සහගතව ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බවත් එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ එන්.ජී.ඕ උපකාර ඇතිව ඔවුන් එය සිදු කළේ හමුදාව අඩපණ කර ජාත්‍යන්තර ඉදිරියේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට බවත් එය "Master Plan එකක ප්‍රතිඵලයක් බවත් බලලත් නිලධාරී කනිෂ්ක ගුණරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා දැනට බන්ධනාගාරගතව සිටින අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක, සැරයන් මෙන්ඩිස් සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ලබන 13 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළා .

    Latest News