රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවය නිමිත්තෙන් අගමැතිතුමාගේ ශෝක පණිවුඩය

ජූලි 25, 2021

    කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැළවීමෙන් මම අතිශය ශෝකයට පත්වූයෙමි.

    දක්ෂ ව්‍යවසායකයකු ලෙස මෙරට ආර්ථිකයට ශක්තියක් වන ව්‍යාපාර ජාලයක් පවත්වාගෙන යාමට කටයුතු කළ ආර්. රාජමහේන්ද්‍රන් මහතා ඒ ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අස්වැසිල්ලක් වූයේය.

    සිරස,ශක්ති, එම්.ටී.වී මාධ්‍ය ජාලයේ හිමිකරු ලෙස ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ආර්. රාජමහේන්ද්‍රමන් මහතා මෙරට රූපවාහිනිය සහ ගුවන් විදුලිය නව්‍යකරණයට ලක්කළ පෙරගමන් කරුවෙකි.

    ජනතාවට සත්‍ය තොරතුරු ලබා දීමෙන් ඔබ්බට යමින් ගම්මැද්ද වැනි වැඩසටහන් ඔස්සේ ග්‍රාමීය ජනතාවගේ දියුණුවට මග පෑදූ ආර්. රාජමහේන්ද්‍රන් මහතා දක්ෂ ව්‍යාපාරිකයකු මෙන්ම සමාජ සේවකයකු ලෙස සිය යුතුකම් රට වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කළේය.

    ආර්.රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවයෙන් ශෝකයට පත් බිරිඳ, පුතා ශෂී රාජමහේන්ද්‍රන්, දියණියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සහ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් කැපිටල් මහරාජා සමූහය ඇතුළු සිරස,ශක්ති,එම්.ටී.වී  මාධ්‍ය ජාලයේ සියලු දෙනාටත් මාගේ බලවත් ශෝකය පිරිනමමි.

    Latest News