උතුම් ශ්‍රී දළඳා පෙරහැර රාජකාරී නිමකළ රාජා හස්ථියා, යළි සිය නිවසට....(වීඩියෝ)

සැප් 12, 2021
  • උතුම් දළඳා පෙරහැර රාජකාරිය සාර්ථකව නිම කළ නැඳුන්ගමුවේ රාජා හස්ථියා, ගම්පහ නැඳුන්ගමුවේ පිහිටි සිය නිවසට ඊයේ සවස පැමිණියා.

    එහිදී, ප්‍රදේශවාසීන්ගෙන් රාජාට හිමිවුණේ ඉහළ පිළිගැනීමක්. නැඳුන්ගමුවේ රාජා හස්ථියා දළඳා පෙරහරට සහභාගි වෙන්න මහනුවර යන්න පිටත් වුණේ, අගෝස්තු මස පළමු වැනිදා. අතුරු මාර්ගවලින් වරකාපොළ දක්වා ගමන් කළ රාජාට, එතැන් සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂව හිමිවුණා.

    දින 10කට වැඩි කාලයක් මහනුවරට යන මේ ගමනේදී, විවේක ගන්න තැන් රාජාට හොඳට මතකයි. මේ ගමනේදී ශ්‍රී දළඳා මාළිගාවේ අනුග්‍රහය ඇතිව රාජාට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න වෙනම කණ්ඩායමකුත් ඉන්නවා. පෙරහැර කාලයට පමණක් සත්ව කරුණවා පහළ වෙන බොහෝ දෙනෙක් රාජා පයින් යන ගමන ගැන විවිධ දේවල් කියනවා.

    ඒත්, නැඳුන්ගමුවේ රාජාගේ හිමිකරු වන පාරම්පරික වෛද්‍යාචාර්ය, හර්ෂ ධර්මවිජය වෙද මහතා සඳහන් කරන්නේ, මේ පාගමන රාජගේ නිරෝගිකමට බොහෙවින් බලපාන බවයි. මඟ දෙපස බොහෝ දෙනෙකුගේ වැඳුම් පිඳුම් සංග්‍රහ මැද්දේ, රාජා අගෝස්තු මස 12 වැනිදා මහනුවරට ළඟා වුණා. දළඳා සමිඳුන් වැඳපුදාගෙන රාජා ඇසළ පෙරහැරට එතැන් සිට එක්වුණා.

    සෑම පෙරහැරකටම සිය දායකත්වය ලබාදුන් රාජා හස්ථියා, අවසන් කුඹල් පෙරහැරෙත්, අවසන් රන්දෝලි මහා පෙරහැරෙත් කරඬුව වැඩම කරවීමේ කටයුත්තට උරදුන්නා. අවසන් මහා පෙරහැරේදී, පාවඩය රාජාගේ හොඬින් සකස් කරපු දර්ශනය බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුණා.

    පෙරහැර රාජකාරිය අවසන් කරලා, රාජා හස්ථියා සතියකට වැඩි කාලයක් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ විවේකීව රැඳී සිටියා. නැවත ගම්පහ නැඳුන්ගමුවට රාජා එන්න පිටත් වුණේ, මේ මාසේ පළමුවැනිදා. පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ආපහු එන ගමනේදීත් රාජා හස්ථියාට හිමිවුණා.

    ආපහු එන ගමනේදී රාජාට අවශ්‍ය සියලු පහසුකම් සලස්වන්න පියවර අරන් තිබුණා. ඊයේ සවස නැඳුන්ගමුවට රාජා එන‍කොට ටිකක් හවස් වෙලා. නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුණත්, මේ උතුම් හස්ථියා පිළිගන්න ප්‍රදේශවාසීන් පැමිණ සිටියා.

    වයස අවුරුදු 65ක් වුවත්, තවමත් මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන හස්ථියා, ලබන වසරේත්, දළඳා පෙරහැරට සහභාගි කරවන බවයි, රාජාගේ හිමිකරු හර්ෂ ධර්මවිජය මහතා සඳහන් කළේ....

    Last modified on ඉරිදා, 12 සැප්තැම්බර් 2021 19:10

    Latest News