වැල්ලවාය මූලික රෝහලට නව වකුගඩු ඒකකයක් (වීඩියෝ)

ජූලි 06, 2019

    මොනරාගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවගේ ප‍්‍රතිකාර සහ සායනික සේවාවන් ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 36ක වියදමින් වැල්ලවාය මූලික රෝහලේ ඉදිකර ඇති නව වකුගඩු රෝගී සායන මධ්‍යස්ථානය සහ රුධිර කාන්දුකරණ ඒකකය අද (06) දහවල් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග අවදානම් දිස්ත්‍රික්ක 11 අතරින් මොනරාගල දිස්ත්‍රික්කය සුවිශේෂි වෙයි. දිස්ත්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 ක වකුගඩු රෝගීන් 1500කට ආසන්න ප‍්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන තිබෙන අතර ඔවුන්ගේ ප‍්‍රතිකාර කටයුතු සහ රෝග නිවාරණය වෙනුවෙන් වැඩසටහන් රැසක්, රට වෙනුවෙන් එකට සිටිමු, වැඩසටහනට සමගාමීව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් ඉකුත් සතිය පුරා දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක විය.

    රුපියල් මිලියන 23 ක් වැය කර පවුල් 4,7500කට පමණ දිනකට ජල ලීටර් 190,000ක් පමණ පිරිවැය කිරීමට හැකියාව ඇති ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති 19ක් ස්ථාපිත කිරීම, වකුගඩු රෝගි අඩු අදායම්ලාභී පවුල් 1600කට පමණ වස විසෙන් තොර දේශීය සහල් සලාක බෙදාදීම, වකුගඩු රෝගයෙන් පීඩාවිදින පවුල්වල දරුවන්ට අධ්‍යාපන උපකරණ ප‍්‍රදානය, අවදානම් කලාපයන්හි අඩු ආදායම්ලාභී පුද්ගලයන් 2250කට පමණ නව ජල සම්බන්ධතා ලබාදීම, වකුගඩු රෝගින් පෙර හඳුනාගැනීමේ සායන පැවැත්වීම ඇතුළු වැඩසටහන් රැසක් ඒ අනුව ක්‍රියාත්මක කෙරිණි.

    අද දහවල් වැල්ලවාය මූලික රෝහල වෙත ගිය ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර වකුගඩු රෝගි සායන මධ්‍යස්ථානය සහ රුධිර කාන්දුකරණ ඒකකය ජනතා අයිතියට පවරා දෙනු ලැබීය. ඊට අදාළ වෛද්‍ය උපකරණ නිල වශයෙන් රෝහල වෙත භාරදීම ද ජනාධිතිතුමා අතින් සිදු විය. වකුගඩු රෝගි සායන මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණි පළමු රෝගින් තිදෙනා ලියාපදිංචි කිරීම ද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

    වකුගඩු රෝගී පවුල් වෙත ප‍්‍රතිලාභ බෙදාදීම සංකේතවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. අමාත්‍ය ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, මොනරාගල දිස්ත්‍රික්ක් ලේකම් ඩී.එස්. පද්මකුලසූරිය, ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි, වැල්ලවාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි එන්. ඒ. එම්. රණදේව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 20:17

    Latest News