මිහිමත උණුසුමට ගස් ට්‍රිලියනයක් (වීඩියෝ)

ජූලි 06, 2019

    මිහිමත වාර්තා වූ වඩාත්ම උණුසුම ජූනි මාසය, 2019 වසරේදී වාර්තා වී ඇතැයි විද්‍යාඥයින් පෙන්වා දෙයි.

    ශීඝ්‍රයෙන් ඉස්මතු වන ගෝලීය උණුසුම ඉහළ යාමේ තර්ජනයට මුහුණදීමේ හොඳම විසඳුම, ගස් ට්‍රිලියනයක්, එනම් කෝටි ලක්‍ෂයක් අලුතින් වගා කිරීම බව, ස්විට්සර්ලන්ත විද්‍යාඥයන් කළ අලුත්ම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පසුගිය ජූනි මාසයේ, යුරෝපය ඇතුළු ප්‍රදේශ රැසක් අධික උණුසුම් කාලගුණික තත්වයකට මුහුණ දී තිබිණ. ප්‍රංශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ ගියේ එතෙක් පැවති සියලු උෂ්ණත්ව වාර්තා බිඳ හෙලමින්. උතුරු අප්‍රිකාවෙන් හමා ආ උණුසුම් වායු ධාරා නිසා ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ඔස්ට්‍රියාව වැනි රටවල් දැඩි උණුසුමකට ගොදුරුව ඇත.

    අධික උණුසුම නිසා, ඉන්දියාවේ පුද්ගලයන් 100කට අධික සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් තිබේ. චෙන්නායි නගරය දරුණු ජල හිඟයකින් පීඩා විඳී. නවදිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 දක්වා ඉහළ ගියේ පෙර පැවති වාර්තා බිඳ හෙලමින්. ඉන්දියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකාවට ද දේශගුණික විපර්යාසවල බලපෑමෙන් මිදීමේ හැකියාවක් නොමැත. ඊයේ එළිදැක්වුණු ස්විට්සර්ලන්ත විද්‍යාඥයන්ගේ වාර්තාවකින් දැක්වෙන්නේ, මිහිමත වර්ග කිලෝ මීටර නව ලක්‍ෂයක් අලුත් තුරු වියනකින් වැසිය යුතු බවයි. උණුසුම ඉහළ නංවන කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 750ක් අවශෝෂණය කරගැනීමට, එම වෘක්‍ෂලතාවන්ට හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ වන ගහණය පිලිබඳව ද විශේෂ අවධානයක් යොමු වන්නේ මේ තත්වය මුල්කරගෙනයි.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 21:38

    Latest News