බෞද්ධාගමට මුල් තැන දී අනෙක් ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් විය යුතුයි - අගමැති (වීඩියෝ)

ජූලි 06, 2019

    බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙමින්, අනෙක් ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, වාද්දුව මොල්ගොඩ ශ්‍රී මහා විහාරයේ අද පැවති පුණ්‍යෝත්සවයට සහභාගි වෙමින්. ශාස්ත්‍රපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නාහිමි වෙත, මල්වතු පාර්ශවයේ කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම වෙනුවෙන් සංවිධාන කළ පිළිගැනීමේ උත්සවය, වාද්දුවේදී අද (06) පැවැත්විණ. ශ්‍රී මහා විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, නව බහුකාර්ය මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට එක්විය. විහාරස්ථාන භූමියේ නා පැළයක් ද රෝපණය කළේය. මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පුණ්‍යෝත්සවය පැවැත්විණ. පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නාහිමියන් වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර ධම්මානන්ද ගෞරව නාමය සහ කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝධූරය පසුගියදා මහනුවරදී පිරිනැමිණ.

    1961 වසරේදී මතුගම දී පැවිදි දිවියට එළඹී උන්වහන්සේ, සමස්ත දේශයටත් විදෙස් ධර්මදූත සේවයේ යෙදෙමින් ජාත්‍යන්තර බුදු සසුනටත් සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ ස්වාමීන් වහන්සේ නමක්. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...

    “උන්වහන්සේගේ දෙන උපදෙස් අනුව අද මේ ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශ දැනට මේ අවුරුදු හතර, පහේදී රුපියල් මිලියන අටදාහකට වඩා මුදලක් වියදම් කරලා තියෙනවා. මට ඒ ගැන කණගාටුවක් නැහැ. බෞද්ධයෙක් හැටියට මම ආපු පරම්පරාව හැටියට මෙච්චර මුදල් ශාසනයට යොදන්න පුලුවන් වුණ එක ගැන මම විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. අද ඇත්ත වශයෙන්ම නගරවල විහාරස්ථාන දියුණු කරන්න පුලුවන්. ඈත පළාත් කොමොහද දියුණු කරන්නේ සංඝයා වහන්සේ අඩු වෙනවා. විහාරස්ථාන දියුණුවත් එක්කම විවිධ වැඩසටහන් යටතේ ගම්මානත් දියුණු කරලා තියෙනවා. කිසිම ආණ්ඩුවකට වඩා අපි මේ වැඩකටයුතු කරගෙන ගියේ. අපේ ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛ ස්ථානය බුද්ධ ධර්මයට ලබලා දීලා තියෙනවා. එක අතකින් බුදුන් වහන්සේගේ ධර්මය මුළු ලෝකයටම අයිතියි. අපිට තනියම අයිති නැහැ. අපිට අයිතිනම් මුලු ලෝකයටම දෙන්න ඕනේ. අනෙක් අතින් මේ තෙරුන් වහන්සේලාගේ ධර්මය ලංකාවේ මහා විහාරය ආරක්ෂා කරපු එක ගැන අපි ඒ වගේම ආඩම්බර වෙන්න තියෙනවා. අපිට ඒ තියෙන ඉතිහාසය අමතක කරන්න බැහැ. අපි මේ රටේ ඉන්න හැම ජනතාවත් එක්කම ජීවත් වෙන්න ඕනේ. ඒක දුටුගැමුණු, පණ්ඩුකාභය යන රජවරුන්ගේ කාලේ ඉඳලම අපි කරගෙන ආවා. අපි එතනට එකතුවෙලා වැඩ කරහම තමයි අපි ශ්‍රී ලාංකිකයෝ වෙන්නේ. ලෝකය අපි දිහා බලනවානම් ඕනෑම ජාතියක් එක්ක අපිට ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඕනේ. අපේ ධර්මය ආරක්‍ෂා කරලා අපේ ධර්මය දියුණු කරන ගමන් අනෙක් සියලු දෙනා එක්කම එකට ජීවත්වීම තමයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    කතානායක කරූ ජයසුරිය, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක යන අමාත්‍යවරු ඇතුළු දේශපාලන නියෝජිතයන් ද මහා සංඝරත්නය ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 20:28

    Latest News