ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගත් පිරිස අද (17) දස ලක්ෂය ඉක්මවයි...

ජූලි 17, 2022

    ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගත් පිරිස අද දස ලක්ෂය ඉක්මවා ගියා.

    ඊයේ දින පාරිභෝගික ජනතාවට ඉන්ධන ලබාගැනීම සදහා ජාතික ඉන්ධන බලපත්‍රය හදුන්වාදීම සිදුකෙරුණා. ජාතික හැඳුනුම්පතේ අංක අනුව වාහන ලියාපදිංචි කොට සතිපතා කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරිමටයි මෙමගින් සැලසුම් කර ඇත්තේ. ඊයේ අධික පිරිසක් වෙබ් අඩවියට පිවිස මෙම බලපත්‍ර ක්‍රමය සක්‍රීය කර ගැනීමට එකවර උත්සහ දැරීමේදී අක්‍රියවීමක් සිදුව තිබෙනවා. අද උදේ එය යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

    ත්‍රිරෝද රථ සහ විදුලි ජනක යන්ත්‍ර සඳහා ඉන්ධන සැපයිමට ජංගම ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව, අමාත්‍ය කංචන වි‍ජේසේකර මහතා පවසනවා. එය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇති. අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ, අදාළ ක්‍රමවේදය කඩිනමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. ත්‍රිරෝද රථ හා භාණ්ඩ බෙදාහැරීම් සිදුකරනු ලබන යතුරු පැදි සහ කෑන් සඳහා ඉන්ධන පිරවුම්හල් වලින් බැහැරව විවෘත ස්ථානවලදී මෙම වැඩ‍පිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    වාහන වැඩි සංඛ්‍යාවක් ඇති පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල වාහන ලියාපදිංචි කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිතයි. එය ක්‍රියාත්මක කරන්නේ, බලශක්ති අමාත්‍යාංශයයි. සියලු වාහන, ව්‍යාපාර ලියාපදිංචි අංක යටතේ ලියාපදිංචි කිරීමට නියමිතයි. එහිදී අදාල වාහන සඳහා විශේෂ QR කේතයක්ද ලබාදෙනු ඇති.

    Last modified on ඉරිදා, 17 ජූලි 2022 18:21

    Latest News