මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පාසල් දින වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මකයි (වීඩියෝ)

ජූනි 24, 2019

    මෙම මස 26 වැනි දිනට යෙදෙන “මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය” තේමා කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ඊයේ (23) සිට ලබන (01) දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට ඇත.

    ඒ අනුව එම සතියේ පළමු දිනය පාසල් දිනය ලෙස නම් කර ඇති අතර, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මූලිකත්වයෙන් දුම්වැටි, මද්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය පිළිබඳ ප්‍රධාන පාසල් උත්සවය කොළොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලයේ දී පැවැත්විණ. මීට සමගාමීව දිවයින පුරා පාසල්වල මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. එමෙන්ම වැල්ලම්පිටිය සිංහපුර ග්‍රාමයේ ගෙයින් ගෙට ගොස් අත්පත්‍රිකා බෙදා හරිමින් මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය පිළිබඳ ගම්වාසීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණි.

    පූජ්‍ය ඉඩමේගම පියනන්ද හිමි, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ, එහි අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් යන මහත්වරුන් සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකා නිලධාරීන් වැඩසටහන් සඳහා මූලිකත්වය ගනු ලැබීය.

    Last modified on සදුදා, 24 ජූනි 2019 20:30

    Latest News